උකුස්සාගේ ප්‍රහාරයෙන් කඩා වැටුණු බඹර කූඩුවක් වතු කම්කරු කතකගේ ඇඟමතට කඩා වැටේ
රංජිත් රාජපක්ෂ - හැටන්

60

තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් මතට බඹර කුඩුවක් කඩා වැටිමෙන් තුවාල ලැබූ අදාළ කාන්තාව සහ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසක් දික්ඔය මුලික රෝහල වෙත අද (22) ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා.

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කැඩිම සඳහා උකුස්සෙකු පහරදී ඇති අතර, උකුස්සාගේ පහරදීමත් සමග බඹර කුඩුව කැඩි ගසට පහළින් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරු කාන්තාවක් මතට කඩා වැටි බඹරුන් ඇවිස්සි එම කාන්තාව ඇතුළු තවත් වතු කම්කරු කාන්තාවන් කිහිප දෙනෙකුට පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ.

බඹර කුඩුව හිස මතට කඩාවැටිමෙන් බඹරුන් පහරදිම නිසා තුවාල ලැබු කාන්තාවගේ තත්ත්වය බරපතල බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් පවසනවා.

මධ්‍යම කදුකරය ආශ්‍රිතව මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග තේ පදුරු මත සහ තේ වතු යායවල්වල පිහිටි විශාල ගස් මත බඹරුන් විශාල වශයෙන් කුඩු බැද තිබෙනවා.

එම බඹර කුඩුවල බඹර වද මත පැණි තිබෙන නිසා උකුස්සන් විසින් බඹර වද කෑම සඳහා දැඩි රුචිකත්වයක් දක්වන බවත්, ඉතා වේගයෙන් ඉගිලි එන උකුස්සා බඹර වදය කඩාගෙන ඉගිලි යන බවයි පරිසරවේදින් කියා සිටියේ.

තේ වතු ආශ්‍රිතව බැද තිබෙන බඹර කුඩු නිසා තේ වතු ආශ්‍රික රැකියා කිරීමේ අවදානමක් පවතින බවත්, බඹර කූඩු ඉවත් කිරීමට වතු පාලන අධිකාරිය මගින් වැඩ පිළිවෙළක් දියත් කළ යුතු  බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් කියා සිටියේ.

මේ අතර ඊයේ(21) දිනයේදී බඹර ප්‍රහාර හේතුවෙන් වතු කම්කරු කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු වතුකම්කරුවන් 16 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට සහ දික්ඔය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

බගවන්තලාව , හෙල්බොඩ වතුයායේ පහළ කොටසේ තේ පඳුරක් මත බැද තිබූ බඹර කූඩුවක් ඊයේ පස්වරුවේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගීම හේතුවෙන් ඇවිස්සුනු බඹරුන් වතු කම්කරුවන්ට දෂ්ඨ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පස් දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලටත් සෙසු පිරිස දික්ඔය මූලික රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.

Your Comments