ඇල්පිටියේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට – ගාල්ලට විශේෂ ආරක්ෂාවක්

4

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට භාරදීම සිදු කෙරෙනවා.

ඒ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී.

දහවල් 12.00 පමණ වනවිට සියලු තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීමට අපේක්ෂා කරන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවා.

එම තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂණ පැකට්ටු ලබන 25 වැනි දාට පෙර සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබාදීමට අපේක්ෂා කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පූර්ණ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු යොදා ඇති බව පොලිස් මූලස්ථානය දන්වා සිටිනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ දැනුම්දීම මත ආරක්ෂක වැඩපිළිවෙල සන්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් ඇල්පිටිය හා ගාල්ල කොට්ඨාස වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ ආරක්‍ෂක කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් සියලු‍ පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී යි.

Your Comments