ඇමති රන්ජන්ට එරෙහි පැමිණිල්ලකට මසක් ඇතුළත චෝදනා පත්‍ර ඉදිරිපත් කරන්න
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිතිපතිට නියෝගයක්

7

අධිකරණයට අපහාස කළේ යැයි සඳහන් කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන දෙවන පැමිණිල්ලට අදාළව අද සිට මසක් ඇතුළත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබෙනවා.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ,විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවු අවස්ථාවේදීයි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ලට අදාළව වගඋත්තරකරු විසින් කිසියම් කණගාටුව පළකිරීමක් සිදුකිරීමට සූදානම් බවට ඔහුගේ නීතිඥවරයා විසින් ඉකුත් නඩු දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබූ බවයි.
මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ විත්තිකරුට යමක් ප්‍රකාශ කිරීමට තිබේ නම් ඒ පිළිබඳව සැල කළ හැක්කේ මෙම පැමිණිල්ලට අදාළව චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් බවයි.
අනතුරුව පැමිණිල්ල ජුලි මස 30 වනදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

Your Comments