ඇමති අකිල ජනපති කොමිසමට

1

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිනවා.

ඒ අමාත්‍යවරයාගේ ඡායාරූපය, පාසල් පෙළපොත්වලට ඇතුලත් කිරීමේදී සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාලවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයුම් අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි ලබා දුන්නා.

ඉන් අනතුරුව ඉලංගසිංහ මහතාට එරෙහිව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා විසින් විනය ක්‍රියාමාර්ග ගත් බව පවසමින් ඔහු ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ද සිදු කලා

ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා අධ්‍යාපන අමාත්‍යවරයාට මෙම කැදවීම සිදුකළ බව ජනාධිපති පරීක්ෂණ කොමිසම සඳහන් කළේ.

මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී මාර්ග සංවර්ධන අධිකාරියට සේවකයින් බදවා ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එහි අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර මහතාට සිතාසි නිකුත් කර තිබෙනවා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ පිහිටි ඩී.පී.ජේ. ගොඩනැගිල්ල ලබාගැනීමේ කටයුතුවලදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු‍ කටයුතු සම්පාදනය කළ බව හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා.

2015 – 2018 කාලසීමාවේ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එහිදී තවදුරටත් සාක්ෂි ලබාදෙමින් දුමින්ද දිසානායක මන්ත්‍රිවරයා කියා සිටියේ එම ගොඩනැගිල්ල ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු අතර, ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු‍ කටයුතු සම්පාදනය කළ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා මේ මස 20 වනදා යළි කොමිසන් සභාව හමුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා.

Your Comments