අමිත් රක්ෂිත බන්ධනාගාරයට – නාමල් CIDයට – ඩෑන්ට ඇප

44

ආගම් සහ ජාතීන් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලය හරහා මුදා හල බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද මහසොන් බලකාය ප්‍රධානියා වන අමිත් වීරසිංහ ලබන 28 වන දා දක්වා රිමාන්ඞ් බාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ කොළඹ දකුණ දූෂණ මර්ධන කොට්ටාශයේ මගින් අත්අඩංගුවට ගත් අමිත් වීරසිංහ අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පොලිසිය එහිදී අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුව ජාතීන් සහ ආගම් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයෙන් අන්තර් ජාලයට අදහස් මුදා හැර ඇති බවයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බැවින් සැකකරුව රිමාන්ඞ් භාරයට පත් කරන ලෙසයි පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මේ අතර පැමිණිල්ලක් කිරීම සඳහා වරකාපොළ පොලිසියට පැමිණි අවස්ථාවේදීයේදී ඊයේ(14) අත්අඩංගුවට ගනු ලැබූ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නාමල් කුමාර අත්අඩංගුවට ගනු ලැබූ බවයි.
එසේම නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඩෑන් ප්‍රියසාද් ද ඊයේ(14) අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු අද(15) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඩෑන් ප්‍රියසාද් මුදා හරින ලෙසයි. එසේම සෑම ඉරිදා දිනයකම පෙරවරු 9ත් දහවල් 12ත් අතර කාලයේදී කොළඹ අපරාධ කොට්ඨාසයට වාර්තා කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.
මීට අමතරව ජාතීන් අතර සුහදතාවය කඩාකප්පල්වන අයුරින් කටයුතු කිරීමෙන් වළකින මෙන්ද මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙත තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබූ බවයි නිව්ස්24 අධිකරණ වාර්තාකරු කියා සිටියේ. ඩෑන් ප්‍රියසාද්ට එරෙහි නඩු විභාගය ජුලි මස 9 වැනිදා දක්වා කල් තැබුණා.

 

Your Comments