අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද අද අධිකරණයට

33

කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය ඊයේ ලබාදුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
එහි දැක්වෙන්නේ එම අතුරු තහනමට එරෙහිව අද දින ආරම්භක පැයේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීම සහ ඊට අදාළ අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවයි.
රටේ දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා වූ අරගලය, එනම් මහමැතිවරණයක් හරහා ජනතාවගේ මතය දිනා ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ වෙත මෙම තීරණාත්මක මොහොතේදී ඔබගේ කැපවීම වඩාත් අවශ්‍ය බැවින් ඒ සඳහා කැපවන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මව්බිමට ඇති ආදරයද, නීතියට ඇති ගෞරවයද දේශප්‍රේමී දේශපාලනයට ඇති අවංක භාවයද පෙරදැරිව රටේ ජනතාව මෙම තීරණාත්මක මොහොතේදී සාමකාමීව සහ ධෛර්ය සම්පන්නව සහ වගකීමෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
මේ අතර එම අධිකරණ තීන්දුවෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සාකච්ජාවක් පැවැත්වුණා.

Your Comments