අධික විෂ සහිත කෘත්‍රිම සාන්ද්‍රණයක් මත්පැන් වලට එකතු කිරීමේ මහා පරිමාණ ජාවාරමක් රටපුරා !

32

මධ්‍යසාර ආශ්‍රිත නිෂ්පාදන වලට යොදා ගනු ලබන ස්වාභාවික රා වෙනුවට, කෘත්‍රිම රා නමැති නීති විරෝධීව නිෂ්පාදනය කරනු ලබන සාන්ද්‍රණයක් එක්කිරීම හේතුවෙන් බරපතල සෞඛ්‍ය හා සමාජ ගැටලු රැසක් මතුව ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

එහි සභාපති රංජිත් විතානගේ මහතා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඇමෝනියා සහ වෙනත් විෂ රසායන යොදා, රා වලට සමාන කෘත්‍රිම සාන්ද්‍රණයක් නීති විරෝධීව රටපුරා නිෂ්පාදනය වන බවයි.

මධ්‍යසාර ආශ්‍රිත නිෂ්පාදනවලට ස්වාභාවික රා එකතු කිරීම වෙනුවට සිදුවන්නේ, ශරීරයට අධික විෂ සහිත මෙම කෘත්‍රිම සාන්ද්‍රණය එක් කිරීම බවයි විතානගේ මහතා පෙන්වා දුන්නේ.

මහාපරිමාණ මධ්‍යසාර නිෂ්පාදන සමාගම් පවා ශ්‍රී ලංකාව තුළ පවතින ඉල්ලුමට සරිලන මධ්‍යසාර ප්‍රමාණයක් නිකුත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ මෙම ජාවාරමේ ගොදුරක් බවට පත්ව ඇති බව ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කළා.

සැර මධ්‍යසාර නිෂ්පාදනයේ දී ස්වාභාවික සාන්ද්‍රණයන් එක් කිරීම සඳහා නීති සකස් වී ඇතත් ඒවා නියාමනය සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව අයත් මුදල් අමාත්‍යංශයට හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට කිසිදු වැඩපිලිවෙලක් නොමැති බව ද රංජිත් විතානගේ මහතා පෙන්වා දුන්නා.

මෙම ජාවාරම මැඩලීම සඳහා මංගල සමරවීර සහ බුද්ධික පතිරණ යන අමාත්‍යවරුන්ට රාජකාරීමය වශයෙන් වගකීම් පැවරී ඇතැයි ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් සඳහන් කළා.

Your Comments