ආසන සංවිධායකවරුන් රැසක් ඉවතට

 10/13/2017 - 19:22
86 reads

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, මහින්දානන්ද අළුත්ගමගේ සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරවලින් ඉවත් කර තිබෙනවා.

ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී පැවති ආසන සංවිධායකවරුන් ඇගයීමේ රැස්වීමකදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම ආසන සංවිධායක ධූරය දැරූ  හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එම සංවිධායක ධූරයෙන් ඉවත් කර නව ආසන සංවිධායක ලෙස හිටපු අමාත්‍යවරියක වන සුමිත්‍රා ප්‍රියාංගනී අබේවීර මහත්මිය පත් කර තිබෙනවා.

නාවලපිටිය ආසන සංවිධායක ධූරය දැරූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන් ද අළුත්ගමගේ මහතා ඉවත් කර ඒ වෙනුවට  මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්.ඒ රණසිංහ මහතා පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණමඩුව ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඔහු වෙනුවට වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා පත්කර ඇති බව සඳහන්.

එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායක වරුන් පත් කිරීමේදී හිටපු ජනාධීපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  අත්තනගල්ල නව ආසන සංවිධායක ලෙස පත් කර තිබෙනවා.

ආසන සංවිධායක ධූරවලින් ඉවත් කිරීමෙන් පසු NEWS 24 වෙත අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා.

ඔබ තුමාව මතුගම ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කරල තියෙනව කියල වාර්තා වෙනවා. මොකද්ද ඔබතුමාට ඒ ගැන කියන්න තියෙන්නේ.?

මමත් දැනගත්තෙ මාධ්‍ය තුළින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මතුගම ආසන සංවිධායක ධූරය ඉවත් කරල තියෙනව කියලා. මට ආසන සංවිධායක ධූරය මම ලබා ගත්තෙ අවුරුදු 35කට ඉස්සෙල්ලා සිරිමාවෝ බණ්ඩාර නායක මැතිණීය කාලෙ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙශ්ඨ පරණ සංවිධායකවරයෙක්. ඉතින් මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල කඩා වැටීමක් ලෙසයි මම දකින්නේ.

මෙම ඉවත් කිරීම්වලට අමතරව ගාල්ල, කෑගල්ල, පුත්තලම, වන්නි, මඩකළපුව, යාපනය යන දිස්ත්‍රික්ක සඳහා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ආසන සංවිධායකවරුන් පත් කර තිබෙනවා.

රත්තොට ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා වෙනුවට ඔහුගේ පුත් චින්තන ඒකනායක මහතා පත් කර ඇති බව සඳහන්.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මාතලේ ආසනය සඳහා පත් කර ඇත්තේ උජිත් අනුරාධ මහතායි.

අම්පාර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස කිහිපයකට අදාළව බලප්‍රදේශ සංවිධායකවරුන් සහ සම සංවිධායකවරුන් 18 දෙනෙකු පත් කිරීම විශ්ෂත්වයක්.

අම්පාර බටහිර බලප්‍රදේශයේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා වන්නේ කීර්ති ශ්‍රී වීරසිංහ මහතායි.

මොරටුව සංවිධායකවරයා ලෙස තවදුරටත් කටයුතු කිරීමට ජීවන් කුමාරතුංග මහතාට පවරා තිබෙනවා.

මේ අතර අකුරැස්ස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස මනෝජ් සිරිසේන මහතා පත් කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news