අඩි සීයේ වැසියෝ මාරාන්තික උපවාසයකට

 10/13/2017 - 07:46
49 reads

සූරියවැව සිට  හම්බන්තොට දක්වා  අඩි 100 මාර්ගය මන්තීරු 4කට පුළුල් කිරීමේදී පවරාගත් ඉඩම්වලට හිමි වන්දි මුදල්  ඉල්ලා ගම් රැසක  ජනතාව පසුගිය 10 වන දින සිට දින තුනක් තිස්සේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල අට්ටාලයක් ගසා විරෝධතාවයේ නිරත වනවා.
වන්දි ඉල්ලා පසුගිය ජුනි මාසයේදී ගම්වාසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.
එහිදී සති දෙකින් වන්දි මුදල් ලබා දෙන බවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඇමතිවරු දෙදෙනෙකු දුන් පොරොන්දු අනුව  උපවාසය නතර කර තිබෙනවා.
විරෝධතාකරුවන් චෝදනා කරන්නේ  මෙතෙක් එම පොරොන්දුව ඉටු වී  නොමැති බවයි.

"...අඩි 100 මාර්ගය පුළුල් කිරිමට අපේ ඉඩම් පවරාගෙන මේ වන විට අවුරුදු 05ක් විතර වෙනවා.
නමුත් තවම ඒ පවරාගැනිම් වලට අදාල වන්දි මුදල් ලැබුණේ නෑ.
අපි කියන්න තියෙන හැම කෙනෙකුටම කිව්වා.
ලියන්න තියෙන හැම කෙනෙකුටමත් ලියුම් ලිව්වා.
නමුත් කිසිදු ප්‍රථිපලයක් ලැබුනේ නෑ.
පසුව ගම්වාසීන් අපි ඔක්කොම එකට එකතු වෙලා පසුගිය ජුනි මාසයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.
එහිදී සජිත් ප්‍රේමදාස මහත්තයා හා මහින්ද අමරවීර මහත්තයා අපිට පොරොන්දු වුනා සති දෙකින් වන්දි දෙන්නම්, උපවාසය අත්හරින්න කිව්වා.
ඒ අනුව අපි උපවාසය අත්හැරියා.
නමුත් සති දෙක දැන් මාස 05ක් වෙන්න ඇවිත්.
අසරණ අපිට තවම වන්දි නෑ.
තවමත් අනාතයෝ වගේ ඉන්න වෙලා.
මෙවර අපි බළධාරීන්ට කියන්නේ සාකච්ජා එපා.
වන්දි මුදල් විතරක් දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.
හැමදාම රටේ වෙන්නේ ලොකු මිනිහට එක විදියකුයි පොඩි මිනිහට තව විදියකට සළකන එක විතරයි.
මෙවර අපි මේ අඛණ්ඩ සත්‍යග්‍රහය වන්දි ලැබෙන තුරු අතහරින්නේ නෑ.
ඇමති වරුන්ට වාහන ගන්න, කාර්යාල හදන්න කෝටි ගනන් මුදල් පාස් කරගන්න පුළුවන් නම් ඇයි මේ අහිංසක මිනිස්සුන්ගේ වන්දි මුදල් ගෙවන්න බැරි.
මොන දේට ගියත් දේශපාලන හිතවත් කම් වලට තමයි මුල් තැන දෙන්නේ.
අහිංසක නැති බැරි මිනිස්සුන්ට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ.
අපි හැමදාමත් දේශපාලඥයින්ගේ වචන වලට රැවටෙනවා විතරයි.
මේ පාර නම් අපි කාගෙවත් වචන වලට රැවටෙන්නේ නෑ. රවට්ටන්නත් බෑ....."

අදහස් දැක්වූ තවත් අයෙක්....

"...හම්බන්තොට දිස්ත්‍රිකයේ ඉන්න ප්‍රබලම ඇමතිවරු දෙදෙනා සජිත් ප්‍රේමදාස හා මහින්ද අමරවීර මහත්වරු අපිට දුන්න පොරොන්දුව ඉටු කළේ නෑ.
අපි කළ මාරාන්තික උපවාසය පිටින් දමලා මේ අහිංසක මිනිස්සුන්ට බෙදන්න කියලා දුන්න සල්ලි ටික මේ අය තම තමන්ගේ හිතවත් කම් අනුව බෙදලා දුන්නා.
උපවාසයේ හිටිය මිනිස්සුන්ට වන්දි දුන්නේ නෑ.දු
න්න එකම චෙක් එකත් නැවත ප්‍රාදේශීය ලේකම් වරයා අරගත්තා වැරදීමක් හදන්න කියලා.
දැන් මේ වෙනකොට මාස 05ක් පමණ වෙන්න ඇවිත් තියෙනවා.
සාකච්ඡා  මාර්ගයෙන් මේ ගැටළුවට පිළිතුරු ලැබෙන්නේ නෑ කියන එක මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා.
ඒ නිසා අපිට හිමි වන්දි මුදල් ලබා ගැනිම වෙනුවෙන් නැවත අපිට පාරට බහින්න වුණා.
අපි වගකීමෙන් කියනවා අපි මෙවර පාරට බැස්සේ වන්දි මුදල් අරගෙන මිසක් ගෙදර යන්නේ නෑ කියන අදහසිනුයි.
මේ වෙනකොට දින 03ක් වෙනවා මේ උපවාසයට.
තවම කිසිවකුගෙන් අපිට සාධාරණ පිළිතුරක් ලැබුණේ නෑ.
බළධාරීන් මේ ගැටළුවට නිසි පිළිතුරක් නොදුන්නොත් හෙටින් පස්සේ අපි මේ උපවාසය මාරාන්තික උපවාසයක් බවට පත් කරනවා...."

(සූරියවැව - නුවන් ජයසේකර)

 

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments