අයවැයෙන් පෞද්ගලික අංශය සවිබලගැන්වීමට අවධානය

 10/12/2017 - 16:58
52 reads

2018 අයවැය මගින්, මෙරට සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශය සවිබලගැන්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලෝක බැංකුවේ අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ මෙන්ගිට්සු අල්මයේහු (Mengistu Alemayehu) සමග පැවැති හමුවක දී.
මෙම හමුව අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී ඊයේ (!1) පැවැත්වුණා.

මෙහි දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කෙරුණා.
රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ක්‍රමවේදය මගින් පෞද්ගලික අංශය බලාත්මක කිරීම මෙන්ම  දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳවද  මෙහි දී අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරයා වෙත කරුණු දක්වා තිබෙනවා.

සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනය ලබා දෙන සහය අගය කළ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ක්‍රමවේදය යටතේ සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ මැදිහත් වීමට රජය ප්‍රමුඛත්වය ලබා දී ඇතැයි ද පවසනවා.

පොහොසත් රටක් - ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීමේ අරමුණ ඇතිව මුදල් අමාත්‍යවරයා ලෙස සිය ප්‍රථම අයවැය ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින මංගල සමරවීර මහතා එහි දී සඳහන් කළේ, පෞද්ගලික අංශය බලාත්මක කිරීම කෙරෙහි මෙවර අයවැය මගින් අවධානය යොමු කර ඇති බවයි.

අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනය ඒ වෙනුවෙන් ලබා දෙන ශක්තිය ද හෙතෙම අගය කළා.

පෞද්ගලික අංශය සම්බන්ධයෙන් කටයුතු කරන ලෝක බැංකු ආයතනයක් වන අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනය, ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් 100ක පමණ ක්‍රියාත්මක වෙමින් උගත් පාඩම් පාදක කරගනිමින් එක් එක් රටවල සංවර්ධන ගැටලු විසඳීම සඳහා මැදිහත් වෙමින් සිටිනවා.
1956 වසරේ දී එහි ආරම්භයේ දී ම ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනයේ සාමාජිකත්වය ලබා ගත් අතර මේ දක්වා කාලය තුළ ඇ.ඩො. බිලියන 1.3 දායකත්වයක්  එම ආයතනයෙන් මෙරටට ලැබී තිබෙනවා.

මෙම ආයතනය මගින් ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයන්හි තිරසාර වර්ධනය වෙනුවෙන් මුල්‍ය සහ පුහුණු අවස්ථා සලසා දීම ද  විශේෂත්වයක්.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා,මුදල් අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේක මනෝ තිත්තවැල්ල, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හේමන්ත පුබුදුසිරි යන මහත්ම මහත්මීන්  එක්ව සිටියා.
 
අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනය වෙනුවෙන් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් අධ්‍යක්ෂ අයිඩා රිඩ්ඩිහවු මහත්මිය සහ මූල්‍ය ආයතනයේ කලාපීය කළමනාකාරිනී අමෙනා අරීෆ් මහත්මිය  එක් ව සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Budget
Mangala Samaraweera
International Finance Corporation
World Bank
Mengistu Alemayehu

Comments