'ඇසේ පිළිකා' ගැන ඔබ දැනුවත් ද ?

 10/10/2017 - 10:50
89 reads

මේ වනවිට වසරකට වරක් පහළොස් දහසකට (15,000) වැඩි සංඛ්‍යාවක් පිළිකා රෝගීන් ලංකාව තුළ අලුතෙන් වාර්තා වනවා.  ඒ අතර මුඛ, පෙනහළු, පියයුරු, ඩිම්බ කෝෂ, ගර්භාෂ, මහාන්ත්‍ර, ඇතුළු පිළිකා වර්ග ගැන නිතර කතා කරන බව ඇත්තකි. නමුත් කවුරුත් නොදන්නා කාරණාවක් වන්නේ අපේ ඉතාම වැදගත් ඉන්ද්‍රියක් වන ඇස් ආශ්‍රිතවත් පිළිකා හටගන්නා බවයි. ඇස් ආශ්‍රිතව හටගන්නා පිළිකා බොහෝමයක් ද්විතියික පිළිකා හැටියට පෙන්වා දිය හැකියි. ඒ කියන්නේ, ශරීරයේ වෙනත් තැනක හටගත් පිළිකාවක් පැතිරයාම නිසා හටගන්නා පිළිකාය. නමුත් ඇස තුළම හටගන්නා පිළිකා ද රාශියකි.

ඇසේ පිළිකා හටගන්නේ කොහොමද?

ඇසේ නොයෙකුත් පටක ආශ්‍රිතව ඇති සෛල වෙනස්වීමකට හෝ විකෘතිභාවයකට පත්ව අනෙක් සෛලවලට වඩා ඉක්මනින් වර්ධනය වෙයි නම් එතැන අසාමාන්‍ය සෛල වර්ධනයක් හෙවත් ටියුමර් තත්ත්වයක් හටගත හැකියි. ඇසේ හටගන්නා මේ අසාමාන්‍ය වර්ධන හඳුන්වන්නේ ප්‍රාථමික අක්ෂි පිළිකාවක් එසේත් නැත්නම් අක්ෂි අභ්‍යන්තර පිළිකාවක් හැටියටයි. ශරීරයේ වෙනත් තැනක හටගත් පිළිකාවක් වසා පද්ධතිය ඔස්සේ පැතිර ගොස් ඇසට ආ විට එය ද්විතියික අක්ෂි පිළිකාවක් හැටියටත් හඳුන්වන්න හැකියි.

රෝග ලක්ෂණ

ඇසේ පිළිකාවල රෝග ලක්ෂණ අනෙක් ඇස් රෝගවලින් වෙන්කර හඳුනාගැනීම ටිකක් අසීරුයි. බොහෝවිට දක්නට ලැබෙන ප්‍රධානම රෝග ලක්ෂණයක් හැටියට ඇසේ පෙනීමේ වෙනස්කම් දක්වන්නට හැකියි. තිත් හෝ පණු ආකාර විනිවිදන සුළු දිලිසෙන ඡායා පාවී යන ආකාරය පෙනෙන්නට ගැනීම තමයි මෙහි මූලිකම ලක්ෂණය. සමහරවිට ඇසේ තැනක කුඩා කළු ලපයක් හටගෙන එහි හැඩය සහ ප්‍රමාණය වෙනස් වන ආකාරය දකින්නත් පුළුවනි. අක්ෂි වෛද්‍යවරයකුට පමණයි මේ කියන පිළිකා තත්ත්ව නිසි ලෙස හඳුනාගන්නට හැකි. මේ නිසා ඇසේ සාමාන්‍ය නිරෝගී පෙනීම මඳකින් හෝ වෙනස් වන්නේ නම් ඇස මත ලප, කැලැල්, දක්නට ඇත්නම් වහාම වෛද්‍යවරයකු වෙත යා යුතුයි.

ඇසේ අභ්‍යන්තර පටකයේ අසාමාන්‍ය වර්ධනය හෙවත් Uveal Melanoma

අක්ෂි පිළිකාවල බහුලව දක්නට ලැබෙන්නේ මේ තත්ත්වයයි. ඇසේ පටක කොටස් තුනක ඇතිවන සෛලවල අසාමාන්‍ය අධි වර්ධන මේ විදිහට හඳුන්වනවා. ඉන් එක් කොටසක් නම් කළු ඉංගිරියාවයි. අනෙක් කොටස වන්නේ ඇසේ තරලමය ද්‍රව්‍ය පාලනය කර ඇහැ තෙත්ව තබාගන්නා පක්ෂම දරන කොටසයි. ඊළඟ කොටස වන්නේ ඇසේ රුධිරය සැපයුම පාලනය කරන රුධිරග්‍රාහී (Choroid) පටක ස්ථරයයි. රුධිරග්‍රාහී ස්ථරයේ තමා බහුලව මේ පිළිකාව වාර්තා වෙන්නේ.

දෘෂ්ඨිවිතාන පිළිකාව හෙවත්  Retinoblastoma

මෙය බහුලව වාර්තාවන්නේ කුඩා දරුවන් තුළයි. බොහෝමයක් වෙලාවට අවුරුදු පහට අඩු දරුවන් අතරයි දක්නට ලැබෙන්නේ. අම්මාගේ බඩේ ඉන්දැද්දිම තමා මේ තත්ත්වය හටගන්නේ. ඇසේ රූප පතිත වන සහ හඳුනාගන්නා අභ්‍යන්තර පටකය වන දෘෂ්ටි විතානය මත ඇති දෘෂ්ඨික සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීම මගිනුයි මෙය හටගන්නේ. මෙය හඳුනාගන්න ලැබෙන්නේ එක් ඇසක කළු ඉංගිරියාව අනෙක් ඇසෙන් වෙනස්ව පෙනෙන්නට ගන්නා විටයි. බොහෝ වෙලාවට මේ ගැන වෙන්කර හඳුනාගන්න ලැබෙන්නේ ඡායාරූපයක් ලබාගත් අවස්ථාවකදීයි.

අක්ෂි අභ්‍යන්තර වසා ගැටිති ඉදිමුම

අපේ ශරීරය පුරාම ප්‍රතිශක්තිය රැකගන්නට උදව්කරන වසා පද්ධතිය පැතිර තියෙනවා. එයට අයත් වසා ගැටිතිත් පවතිනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ කුද්දැටි කියන්නේ මේ ගැටිතිවලට. ඉතාමත් කලාතුරකින් ඇස ආශ්‍රිතව ඇති මේ ගැටිතිත් ඉදිමීමට ලක්වෙනවා. මේවා කලින් හඳුනාගැනීම ඉතා අසීරුයි. පුද්ගලයන් අනුව රෝග ලක්ෂණත් වෙනස්. ඒ තත්ත්වයන්ද පිළිකා දක්වා වර්ධනය විය හැකියි.

සංයුග්මක පටල පිළිකාව හෙවත් Conjunctival Melanoma

ඔබේ ඇසේ ගෝලයේ පිටතම කොටස සහ ඇස් පිහාටුවල අභ්‍යන්තරම කොටස අතර පිහිටා ඇති දාරය හඳුන්වන්නේ සංයුග්මක පටලය හැටියටයි. මේ පටලයේ ඉතාමත් කලාතුරකින් හටගන්නා පිළිකාමය තත්ත්වයක් හටගත හැකියි. කළු පැහැති තිතක්, කුරුලෑවක් වගේ මෙය මුල් අවදියේ දකින්නට පුළුවනි. ප්‍රතිකාර නොකළොත් ඇසේ මෙන්ම ශරීරයේ අනෙකුත් කොටස් කරාත් වසා පද්ධතිය ඔස්සේ පැතිරෙන්නට හැකියි.

කඳුළු ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා හෙවත් Lacrimal Gland Cancer

ඉතාමත් දුර්ලභව හටගන්නා පිළිකා තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවනි. ඇහැට කඳුළු ලබාදෙන කඳුළු ග්‍රන්ථි ආශ්‍රිතවයි මෙය හටගන්නේ. සෑම ඇසකම නාසය පැත්තට වන්නට ඉහළ පහළ දෙකෙළවර මේ ග්‍රන්ථි පිහිටා තිබෙනවා. හුඟක් වෙලාවට වයස 30 ගණන්වල ඉන්න අයගෙයි මේ පිළිකාව හටගන්නේ.

ඇහි පිහාටු මත පිළිකා

චර්මීය පිළිකාවක් හැටියට ආරම්භ වන මෙය ඇස් පිහාටුවේ පිටත හටගන්නට පුළුවනි. බහුලව දක්නට ලැබෙන්නේ පහළ පිහාටුව මතයි. හුඟාක් පැහැපත් හමක් ඇති අයට මේ තත්ත්වය බහුලයි. හිරැඑළිය නිසා බහුලව ඇතිවිය හැකි පිළිකාමය තත්ත්වයකුයි මෙය.

ද්විතියික ඇස් පිළිකා

ශරීරයේ වෙනත් අවයවයක හටගන්නා පිළිකාවක් පැතිර යාමෙන් ඇස් කරා එන්නටත් හැකියි. එවිට එය හඳුන්වන්නේ ද්විතියික අක්ෂි පිළිකාවක් හැටියටයි. බොහෝ වෙලාවට කාන්තාවන්ගේ පියයුරු පිළිකාවේ, පිරිමින්ගේ පෙනහළු පිළිකාත් තමා මේ සඳහා හේතුවන්නේ. ඒ හැර සමේ, වකුගඩුවේ, මහාන්ත්‍රයේ, තයිරොයිඩයේ වගේ හටගන්නා පිළිකාත් ඇස් කරා පැතිර එන්නට පුළුවනි.

හඳුනාගැනීම් සහ ප්‍රතිකාර

ඇස් පරීක්ෂාවට ලක්වීමෙන් තමා පිළිකා තත්ත්වයක් මුලින්ම හඳුනාගන්නට හැකිවන්නේ. අක්ෂි පිළිකාවක් ගැන සැක හිතුණු විට වෛද්‍යවරයා විසින් ස්කෑන් පරීක්ෂාවක් අතිධ්පති පරීක්ෂාවක් හෝ MRR පරීක්ෂණයක්, වැනි දෙයක් නියම කරාවි. වඩාත් සැකහැර ගැනීමට ජෛව පටක හෙවත් Biopsy පරීක්ෂාවක් සිදු කරන්නටත් පුළුවනි.

ඇසේ පිළිකා සුවකරගන්නට බොහෝවිට ශල්‍යකර්ම තමා භාවිතා වන්නේ. අර්බුදකාරී කොටස කපා ඉවත් කිරීම සිදුකෙරෙනවා. පසුව විකිරණ ප්‍රතිකාර මගින් ඉතිරිව ඇති පිළිකා සෛල ඉවත් කරන්නටත් පුළුවනි. ඇස මතුපිට චර්මය ආශ්‍රිත පිළිකා සඳහා ලේසර් ප්‍රතිකාර ක්‍රමත් භාවිතා වෙනවා.

උපුටාගැනීම - දේශය (සුගත් පී. කුලතුංගආරච්චි)

news24.lk
News24
sri lanka news 24
24 news

Comments