4 වැනිදා රෝගී වූ නෝර්වුඩ් ඇඟලුම් කම්හලේ සේවිකාවෝ යළිත් රෝගී වෙති - පිරිසක් මානසික වෛද්‍ය සායනයට

 10/09/2017 - 18:43
85 reads

හැටන් නෝර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් අද (09) උදෑසන යළිත් රෝගාතුර වී උමතුවෙන් මෙන් හැසිරීම හේතුවෙන් අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ සිටි අනෙක් සේවිාකවන් භීතියට පත්ව ඇති බව වාර්තා වනවා.
එම ඇඟලුම් කර්මාන් ශාලාවේ සේවිකාවන් 20 දෙනෙකු පමණ ආවේශ වී උමතුවෙන් මෙන් කර්මාන්ත ශාලාව තුළ හැසිරී කෑ ගැසීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වූ බවයි නිව්ස්24 වාර්තාකරු පවසන්නේ. සේවිකාවක් කියා සිටියේ කළු ඇඳුමක් ඇදගත් කිසියම් අයෙකු තමාගේ බෙල්ල ප්‍රදේශයෙන් ඇල්ලු බවයි. මෙලෙස සේවිකාවන් කෑ ගැසීමත් සමගම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පාලකයින් සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
වහා ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට ගොස් මේ සම්බන්ධයෙන් පරික්ෂා කර ඒ සම්බන්ධයෙන් දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන්ට දැනුම්දී තිබෙනවා. පසුව දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් අදාළ ඇඟලුම් කම්හල වෙත පැමිණ උමතු තත්ත්වයෙන් පසු වූ සේවිකාවන් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහෙත් ඔවුන්ගේ ශරීරයේ කිසිදු රෝගී තත්ත්වයක් නොතිබූ නිසා හඳුනාගත් ඇඟලුම් සේවිකාවන් කිහිප දෙනෙකු දික්ඔය මූලික රෝහලෙ සායන සඳහා පැමිණෙන මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට පාලනාධිකාරියට දැනුම්දී තිබෙනවා.
කෙසේ වෙතත් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පවසන්නේ තම කර්මාන්ත ශාලාව තුළ පැවැත්විය යුතු දේව පූජාවන් කිහිපයක් පැවැත්වීම පාලන අධිකාරිය මගින් අතපසු කිරීම හේතුවෙන් මෙවැනි අසාමාන්‍ය තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
කෙසේ වෙතත් පසුගිය 04 වැනිදා ද මෙම කර්මාන්ත ශාලාවේම සේවිකාවන් 245 දෙනෙකු පමණ හදිසියේ රෝගාතුර වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ නිසි පරිදි ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොතිබීම හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් එලෙස රෝගාතුර වී ඇති බවයි.  ඒ අනුව කර්මාන්ත ශාලව තුළ ප්‍රමාණවත් වාතාශ්‍රය ලැබෙන ලෙස කටයුතු කරන ලෙසට පාලනාධිකාරියට කළ උපදෙස් මත එම ඇඟලුම් කම්හලේ පාලනාධිකාරිය මගින් වාතාශ්‍රය අවශ්‍ය පරිදි කර්මාන්ත ශාලාව තුළට ලැබෙන අයුරින් කටයුතු කර ඇති බවයි නෝර්වුඩ් පොලිසිය පවසන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news