UPDATE : මත්තල කලහකාරී තත්ත්වය ගැන පරීක්ෂණ 03ක් - ඒකාබද්ධ විපක්ෂය අධිකරණයට

 10/08/2017 - 18:55
428 reads

ඒකාබද්ධ විපක්ෂය පෙරේදා දිනයේ හම්බන්තොට සංවිධාන කර තිබූ විරෝධතාවය අතර ඇති වූ කලහකාරී තත්ත්වය සහ පොලීසිය පහරදුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ 3ක් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා.
එදින අදාළ ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශ ලබාගනිමින් එක් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන අතර තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන්නේ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින්.
එමෙන්ම උසස් පොලිස් නිලධාරියෙකු විසින් විරෝධතාව අතරතුර තරුණයෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.
අදාළ සිද්ධිය පිළිබඳ පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි පොලිස් කොමිසම ඊයේ ප්‍රකාශ කළේ.
අදාළ විරෝධතාවයේ දී පුද්ගලයන් 28 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර, කාන්තාවන් 7 දෙනෙකු ද ඊට ඇතුළත්.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳව නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මාතර පැවති උත්සවයක දී අදහස් පළ කරමින් කියා සිටියේ නීතිය සැමටම එක හා සමාන බවයි. එසේම අදාළ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියා යම් වරදක් කර ඇත්නම් ඔහු සම්බන්ධයෙන් විමර්ශන කර කටයුතු කරන බවත් මාධ්‍යවේදියා යම් වරදක් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද කටයුතු කරන බවයි.  එසේම මාධ්‍යවේදී හැඳාුනුම්පත් තිබුණා කියලා උද්ඝෝෂණ කටයුතු කළ නොහැකි බවත් ඔහු කළ යුත්තේ මාධ්‍යවේදී කටයුතු බවත් අමාත්‍යවරයා පවසනවා.


 

'පොලිස් පහර' කෑ තරුණයා මාතර මහ රෝහලට මාරුකරයි [ 10/08/2017 - 11:25]

හම්බන්තොට පැවති විරෝධතාව අතරතුර උසස් පොලිස් නිළධාරියෙකුගේ පහරකෑමට ලක්වූ තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

තරුණයා උගුර-කණ-නාස ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. 

තංගල්ල මූලික රෝහලේ  8වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට  ඔහු  ඊයේ පස්වරුවේ මාරු කර යැවූ බවයි එහි ප්‍රකාශිකාවක පැවසුවේ.

මෙලෙස පහරකෑමට ලක්ව රෝහල් ගත කෙරුණේ මහනුවර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි  අයෙක්.

විරෝධතාව අතර කළහකාරී ලෙස හැසිරුණු  බව පැවසෙන පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වුණා.

පොලිසියට චෝදනා එල්ලවන්නේ කිසිදු සොයා බැලිමකින් තොරව අදාල තරුණයාද අත්අඩංගුවට ගෙන පොලිස් වාහනය වෙත රැගෙන එමින් සිටින අතර වාරයේදී උසස් පොලිස් නිළධාරියෙකු විසින් කණේ පහරක් එල්ල කළ  බවටයි.

එම අවස්ථාවේ මාධ්‍යවේදින් එහි සිටිනු දුට එම උසස් පොලිස් නිළධාරියා වහා ඔහුගේ ස්වරූපය වෙනස් කරගත් බවත් , කිසිවකුටත් පහර නොදෙන්නැයි අනෙකුත් නිලයන්ට දන්වා සිටි බවත් එහි සිටි සිවිල් වැසියන් පවසනවා.

මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ප්‍රතිභා මහානාම හේවා මහතා පෙන්වා දෙන්නේ

"....පොලිස් බාරයට පත් වන කිසිදු සැකකරුවෙකුට පහරදීමක් හෝ පිඩාවක් කිරීමට පුළුවන් කමක් නෑ....
හම්බන්තොටදි ඇති වු සිද්ධිය අපි දැක්කා...
උසස් පොලිස් නිළධාරියෙකු ලෙස ඔහු මේ කළ  පහරදිම අවමන් සහගත එකක් ලෙසයි අපි දකින්නේ...
මෙවැනි සැකකරුවෙකු පොලිස් බාරයට පත් වු පසුව සිදු කළ  යුතු වන්නේ සැකකරු  ළඟම මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කිරිමට කටයුතු කිරිමයි.
ඉහළ නිළධාරීන් සතුටු කිරීමට මෙලෙස හැසිරීම කිසිසේත් අනුමත කළ  නොහැකියි..."

හම්බන්තොට විරෝධය අතර තුර සිදු වු  පහරදීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමද පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැදවා තිබෙනවා.

පහරදීම සම්බන්ධයෙන් ගාල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරික්ෂණයක්ද ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවා.

පුද්ගලයන් 28 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වු අතර කාන්තාවන් 07 දෙනෙකු ඒ අතර වෙයි.

විරෝධතාකරුවන් හා පොලිසිය අතර සිදු වු ගැටුමෙන් පොලිස් නිළධාරීන් සිව් දෙනෙකුද තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිස් අත්අඩංගුවටපත් සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටින  නීතීඥ චමින්ද සූරියපටබැඳි   මහතා පැවසුවේ අත්අඩංගුවට පත් පුද්ගලයන්ගේ මුලික අයිතිවාසිකම් කඩ වි ඇති බවයි.

පොලිස් පහරදීම් වලින් තුවාල ලබා සිටි සැකකරුවන්ට කෘර ලෙස සැළකීමත්, ඔවුන් සම්බන්ධයෙන් තිස්සමහාරාම රෝහලේ ශල්‍ය වෛද්‍ය වරයාගේ නියෝගද  නොසළකා හරිමින් පොලිසිය කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කරනවා.

රාජ්‍ය දේපළ පිටරටට විකිණිමට විරෝධය පළකරමින් පැවති සාමකාමි විරෝධතාවයට පොලීසිය විසින් කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර නැති ගැටළුවක් උත්පන්න කළ බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පැමිණි මංත්‍රිවරු චෝදනා කළේ.
 
පසුගියදා  (6) හම්බන්තොට ඉන්දියන් කොන්සල් කාර්යාලය ඉදිරිපිටදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගයින් 28ක් පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඉන්දියන් කොන්සල් කාර්යාලය ඉදිරිපිට යොදා තිබූ පොලිස් මාර්ග බාධක පෙරලා කොන්සල් කාර්යාලයට විරෝධතාකරුවන් ඇතුලු වීමට උත්සාහ කළ අවස්ථාවේදී ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි.

එහිදී විරෝධතාකරුවන් සී සී කඩ දිව ගිය අතර ඇතැමුන් පොලිසිය මගින් එල්ල කළ කදුළු ගෑස් යළි පොලිසිය දෙසට  විසිකරමින් හා ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණු  බවද පොලිසිය සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news