සිල් රෙදි නඩුවේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට

 09/13/2017 - 18:51
92 reads

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල්රෙදි බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ  අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර ඇති  ඇප ඉල්ලීම් කොළඹ මහාධිකරණය විසින්  හෙට දිනයේදී  සලකා බැලීමට නියමිතයි.
පසුගිය 11 වන දින විත්තියේ නීතිඥවරුන් විසින් මෙම ඇප ඉල්ලීම අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා.
මෙම ඇප ඉල්ලීමෙහි සඳහන් වන්නේ ඔවුනට අදාළ සිර දඬුවම, දඩමුදල් සහ වන්දි මුදල් ඉවත් කරන ලෙසයි.
ඒ අනුව, මෙම පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ හෙට දිනයේදී සලකා බැලීමට නියමිතයි.
මේ අතර, රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ  අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ  සුවදුක් බැලීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද බන්ධනාගාර රෝහල වෙත පැමිණියා.
අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කළ උදය ගම්මන්පිල මහතා කියා සිටියේ රටේ නීතිය පිළිබඳ ජනතාවට අවබෝධයක් නොමැති බැවින්, නීතිමය විවරණයක් සකස් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීණ්දුව පිළිබඳව අද දිනයේ දේශපාලන වේදිකා සහ මාධ්‍ය හමුවල දී අදහස්  පළ වුණා.
දූෂණ විරෝධි පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පැවසුවේ
සිල් රෙදි නඩුවට අදාළ සැබෑ වැරදිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්‍ෂා කළ යුතු බවයි.
මේ අතර, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් රාජ්‍ය නිලධාරීන් ලෙස පසුගිය ආණ්ඩුව සමයේ නීතියට අනුකූලව කටයුතු කළේ නම් මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදු නොවන බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.
නීතියෙන් දඩුවම් ලබන  පුද්ගලයින්  සම්බන්ධයෙන් වැරදි අර්ථකතන ලබාදීමට ඇතැම් පිරිස් උත්සහා දරණ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. මහලේකම්වරයා මේ බව කියා සිටියේ අද මහනුවරදි මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news