''ජනාධිපති ධුර කාලය තව ටික කාලයකින් නැතිවෙනවා. එදාට අපට ඇති වෙන්න, නැතිවෙන්න දෙයක් නැහැ. අපි ඒ දේ තේරුම් අරන් ඉන්නේ''

 09/13/2017 - 17:04
255 reads

නෙක බාධක කම්කටොලු හමුවේ දිරිමත් බවින් විකසිතව ගලා ආ ඔහුගේ දිවිය, අතිශයින් ම සරල ය. අභියෝග හමුවේ නොසැළෙමින් රටේ පළමු පුරවැසියා ලෙස අභිසෙස් ලැබීමට තරම් භාග්‍යවන්තයකු වූ ඔහු පිළිබඳ තතු,’ජනාධිපති තාත්තා’ ලෙසින් සිය දියණියගේ පන්හිඳෙන් ලියැවී, මේ මස 15 වැනි දින උදෑසන 7.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විකසිත වේ. ළගන්නාසුලු බසින් කවියක් පරිද්දෙන් ලියැවුණු මේ කෘතිය පිළිබඳ, එම කෘතියේ කතුවරිය වන චතුරිකා සිරිසේන මහත්මිය සමඟ කළ කතාබහකි මේ.

''ජනාධිපති ධුර කාලය තව ටික කාලයකින් නැතිවෙනවා. එදාට අපට ඇති වෙන්න, නැතිවෙන්න දෙයක් නැහැ. අපි ඒ දේ තේරුම් අරන් ඉන්නේ. මං එදා වගේ ම අදත් ජීවත් වන්නේ සාමාන්‍ය කෙනෙක් විදිහටයි. සරලයි. අදටත් ගෙදරට අවශ්‍ය දේ ගන්න මං කඩේට යනවා. ඒ ශක්තිය අපට ඇති වුණේ පියාගේ මඟපෙන්වීම නිසයි. එතුමා තුළ තිබෙන සරලකම නිසයි. ඒ සාමාන්‍ය ජීවිතයට අපි හරි කැමැතියි.''

මෙය ඔබේ පළමු නිර්මා‍ණ කාර්යය?

පොතක් විදිහට කළ පළමු නිර්මාණය. පාසල් යන කාලෙ කවි, නිසදැස් වගේ නිර්මා‍ණ පත්තරවලට යොමු කළා.

ඔබ පළමු කෘතිය පවුලෙන් ම අරඹන්න හිතුවෙ ඇයි?

මම මගේ පියා දකින්නේ මගේ ජීවිතයේ ආචාර්යවරයා හැටියටයි. මම ඔහුගේ ජීවිතයේ විවිධ කාල පිළිබඳ තොරතුරු, බොහෝ කාලයක සිට ඒකරාශි කරලා ති‍බුණා. මං මේ වගේ කෘතියක් ලියන්න පළමු හේතුව වුණේ, මගේ පියා කියන්නේ කුඩා කාලයේ ඉඳන් ම විවිධ හැලහැප්පීම් එක්ක රටේ පළමු පුරවැසියා දක්වා පැමිණි කෙනෙක් වීමයි. තාත්තා ජනාධිපතිවරු තුන් හතර දෙනෙක් සමඟ කටයුතු කළ කෙනෙක්. අපේ පවුල, ගැටීම් , චෝදනා එක්ක දෝලනය වුණු එකක්. 89 භීෂණය, යුද්ධය, හැමදාම පවතින මැතිවරණ මේ වගේ දේ තමයි මං පුංචි කාලෙ ඉදන් ම දැක්කේ. අපි කවදාකවත් හිතුවෙ නෑ තාත්තා ජනාධිපති කෙනෙක් වෙයි කියලා. අපේ එහෙම බලාපොරොත්තුවක් තිබුණෙත් නෑ. හැබැයි මේ දේ වෙලා පොදු අපේක්ෂකයා වී එළියට ආවහම, අප විවිධ අත්දැකීම් වින්දා. මං දන්නා කාලෙ ඉඳන් ම පියා ප්‍රබල ඇමැතිවරයෙක්. මගේ අධ්‍යාපන කටයුතු හමාර වෙද්දී, ඔහු ප්‍රබල ඇමැතිවරයෙක්. මං පළමු ශ්‍රේණියෙදි තමයි ඔහු මන්ත්‍රීවරයෙක් වෙලා හිටියෙ. ඔහු සභානායක, පක්ෂයේ ලේකම් වුණා. ඔහු මිනිසුන්ට බොහෝ සේ උදවු උපකාර කළ කෙනෙක්. එදා ඉඳන්ම, තාත්තා උදවු කළ, ඔහු අධ්‍යාපනය හදාරද්දි ඔහුට උදවු කළ, තාත්තා ශක්තිමත් කළ පිරිසක් හිටියා. ඒත් පොදු අපේක්ෂකයා වුණහම බොහෝ අය එකපාරට අප තල්ලු කරලා දාලා වගේ අපෙන් ගිලිහිලා ගියා. අපට නිතර උදවු නොකළ, නිතර ගෙදර ආව ගියේ නැති, ඒත් අපට ශ්‍රමයෙන් උදවු කරන පිරිසකුත් සිටිනවා. මං මේ සියලු කාරණා නිසයි මේ වගේ කෘතියක් ලියන්න හිතුවෙ. මං මෙය ලියන්නේ චරිතාපදානයක් විදිහට නෙවෙයි. මං මෙය ලිව්වේ, නවකතාවක ආකෘතියකටයි. මේ රටේ සුවහසක් දරුවන් වෙනුවෙන්. තමන්ගේ ඉලක්ක කරා නොනැවතී ඉදිරියට යන තරුණයන්ට, තමන්ගේ ජීවිතය ජය ගන්න මේ චරිතය පිටිවහලක් වෙයි කියලා හිතුව නිසයි.

ඔබේ පියා සතු පසු නොබසින ගුණය, උත්සාහවන්ත බව, අභියෝග ජය ගැනීමේ හැකියාව මේ කෘතිය තුළින් පිළිබිඹු වෙනවා. ඒ ගැන කතා කළොත්?

මගේ පියා සාමාන්‍ය ගොවි පවුලක ඉපදුණු කෙනෙක්. මව ගුරුවරියක්. පියා ආරච්චි කෙනෙක්. ගැමි පරිසරයක හැදුණු කෙනෙක්. මං මේ කෘතිය තුළ ඔහුගේ ගැටවර විය, තරුණ අවධිය සහ තාත්තා කෙනෙක්, මන්ත්‍රීවරයෙක් ආදී  වශයෙන් පරිච්ඡේදවලට බෙදලා මේ කෘතිය ලිව්වේ. එතුමා එදා සිට ලද අත්දැකීම්, වැටීම්, වට්ටපු තැන් වගේ අත්දැකීම්, පියාට ජීවිතය ජය ගැනීමට තෝතැන්නක් වුණා. ඒ හැම දෙයක්ම මං මෙහිදී විස්තර කර තිබෙනවා.

මේ කෘතිය රචනා වෙන්නේ පියා ඔබට පැවසූ අත්දැකීම් ඇසුරින්ද? එහෙම නැත්නම් ඇසූ දුටු කරුණු ඇසුරින්ද?

මගේ උපතින් පසුව පියාගැන මං දන්න තොරතුරු තිබෙනවා. ඊට අමතරව මං එතුමා ගැන නොදන්නා අවධිය පිළිබඳ තොරතුරු විවිධ ක්‍රම භාවිතයෙන් සොයා ගත්තා. ඒවා එක්තරා ආකාරයට පර්යේෂණ කාර්යයක් විදිහටයි කෙරුණේ. ඒ සඳහා මට සිව් දෙනකුගෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් හිටියා. මගේ ඥාතීන්, මගේ පවුලේ අය, හිතවතුන්, ගම්වල අය, දේශපාලනඥයන් වගේ සෑම කෙනෙක්ගෙන්ම තොරතුරු සොයාගෙන තමයි එතුමාගේ මුල් අවධිය පිළිබඳ මේ කෘතිය තුළ ලියැවුණේ. මෙහි තිබෙන්නේ සියයට සියයක් ම නිවැරැදි තොරතුරු. ඒ වගේ ම දියණියක් විදිහට මට දැනුණු සිතිවිලි.

ඔබේ පියා බෝම්බ ප්‍රහාරයකට ලක් වෙනවා. දියණියක ලෙස එදා විඳි ඒ අත්දකීම් පිළිබඳ කතා කළොත්?

මං මේ කෘතිය තුළ ඒ අත්දැකීම් විඳි ආකාරය ඒ ආකාරයටම රචනා කළා. මං පාසල් යන කාලයේත් ඔහු ඒ වගේ අත්දැකීම් දෙකකට මුහුණ දුන්නා. බෝම්බ ප්‍රහාරයට ලක් වුණේ මං විවාහ වුණ අලුතමයි. මං ඒ වෙලාවේ මහත්තයාගේ ව්‍යාපාරික ස්ථානයේ කටයුතු කරමින් හිටියේ. එකපාරටම මං සිටි ස්ථානයේ දොරට, සේවක මහතකු ඇවිත් වේගයෙන් ගහන්න ගත්තා. ඒ වෙලාවේ මගේ මහත්තයා ඒ පිළිබඳ විමසා බැලුවා. ඒ මොහොතෙම වගේ එයාගෙ දුරකථනයට මේ පණිවිඩයත් ලැබිලා. ඒත් මට ඇඟෙව්වේ නැහැ. දවල්ට කාලා ආවටත් පස්සේ නැවතත් සේවක මහතකු දොරට ගහනවා ඇහුණා. මං ගිහින් විමසුවහම බෝම්බ ප්‍රහාරය ගැන කිව්වා. මං ක්ෂණයකින් තාත්තට දුරකථනයෙන් ඇමතුවා. තාත්තා කතා කළා. එක පාරටම කෑගැස්සිලා ඇඬුවා. මං ඒ ගමන්ම පොළොන්නරුවේ ඉඳන් කොළඹ එන්න ආවා. මං ආවට පස්සේ තාත්තා ගෙදර ආවෙ. ඒ ආවෙ වෙනදා ගෙදරට ගොඩවෙනකොට දකින්න තියෙන හිනාවත් එක්කයි. ඒ මොහොතේ අපි හැමෝම එයාගෙ හිනාවට හිනාවෙන් සැලකුවා මිසක්, අඬා වැලපුණේ නෑ.

මගේ මල්ලි ඒ කාලෙ පාසල් යනවා. එයා පාසල් ගිහින් එද්දි තමයි මේ ප්‍රවෘත්තිය ගුවන්විදු‍ලියෙන් ඇහිලා තිබුණේ. ඒ වෙලාවෙ අම්මා දැනගෙන ඉඳලා නෑ. තාත්තා ගෙදරට එනකංම මේ ප්‍රවෘත්තිය අම්මට වසං කරන්න නංගිත්, මල්ලිත්, මමත් කටයුතු කළා.

ඔබ අත්දුටු යුද්ධය පිළිබඳ සිදුවීම් මේ කෘතිය තුළ අනතර්ගතයි. ඒ කටුක අත්දැකීම් ගැන කතා කළොත්?

මං පාසල් යද්දි මගේ පන්තියේ සමහර යාළුවෝ උදේට පාසල් ආවේ රෑ කැලේ හැංගිලා ඉඳලයි. ඒ ත්‍රස්ත ප්‍රහාරවලට බයේ. කන්නවත් ගේන්නේ නෑ. ඒ අයගෙ සහෝදරයෝ යුද්දෙන් මැරුණා. සමහරුන්ට ඒ අයගේ මිනියවත් දකින්න ලැබුණේ නෑ. අද ලොකුවට යුද්ධය ගැන කතා කරන ප්‍රභූන්ගේ දරුවන් නෙමෙයි යුද්ධය නිසා බැට කෑවේ. ගම්වල ඉන්න අහිංසක දුප්පත් ජනතාව. පවුල් විනාශ වුණේ ඒ අයගෙන්. මගේ පියා මරන්න ක්ලේමෝ අරගෙන කිහිපවරක් ත්‍රස්තයන් නිවෙසට ආවා. ඒ තරම් භීෂණයක අත්දැකීම් අපට තිබුණේ. දරුවෝ විදිහට ඒ කටුක අත්දැකීම් අපි වින්දා. තාත්තා ගෙදර සිටිනදාට අපි රෑට නිදා ගන්නේ නෑ. තාත්තට තනි රකිනවා. අපි එක දවසක් එක තැනක ඉන්නවා. තව දවසක තව තැනක හිටියෙ. යුද්ධය අවසාන කාලෙ අපි හරිම ඝට්ටනයකයි හිටියෙ. අම්මයි, මල්ලියි ඒ කාලෙ බොරැල්ලෙ බෝම්බෙට අහුවෙන්න ගිහින් බේරුණා. ඒ භීතියත් එක්ක ගෙදර දොරේ පොඩි හරි ශබ්දයක් ඇහුණත් අපි භය වුණා. ගැස්සුනා.

මේ බය සංකා එක්ක ජීවිතය ගෙවුණත්, මට අවශ්‍ය වෙලා තිබුණෙ උසස් අධ්‍යාපන කටයුතු තව දුරටත් කරගෙන යන්නයි. එත්, එක දවසක් තාත්තා මට කතා කරලා කියනවා”චතූ, ඔයා ඉක්මනටම විවාහ වෙන්න. මගෙ ජීවිතේ කොයි වෙලාවෙද කියලා දන්නේ නෑ. ඒ නිසා මට ඔයා මනමාලියක් වෙලා ඉන්නවා දකින්න ආසයි ” කියලා. මගේ විවාහය ඉක්මනින් සිදුවුණු එකක්. ඒක සිදු වුණෙත් දැඩි මුරකාවල් මධ්‍යයේ. ඒ වෙද්දි තාත්තා තමයි කොටින්ගේ ලැයිස්තුවේ මුලින්ම හිටියෙ. ඊට සාක්ෂියත් මං මේ කෘතියෙ සටහන් කළා.

මේ වගේ ප්‍රශ්න හමුවේ දුක් විඳිද්දී, ඔහු දේශපාලනයෙන් ඉවත්විය යුතුයි කියලා ඔබ හිතපු වාර තිබුණද?

තාත්තාට දේශපාලනයෙන් අයින් වෙන්න ගෙදර ඉන්න කියලා අපි බලපෑම් කළේ නෑ. තාත්තගෙ දේශපාලන ගමන්මඟේ අදටත් නිහඬව සිටින ගැහැනිය අපේ අම්මා. තාත්තගෙ ගමන්මඟේ දැවැන්ත යෝධ ශක්තියත් ඇය. අම්මා ප්‍රශ්න හමුවේ හඬා වැලපෙනවා අපි කවදාකවත් දැක්කේ නෑ. අම්මා, තාත්තට දේශපාලනයෙන් ඉවත් වෙන්න කිව්වෙත් නෑ. තාත්තා ගන්න තීන්දු තීරණ හොඳ වෙන්නත් පුළුවන්. නරක වෙන්නත් පුළුවන්. අම්මා ගෙදර හිටියට දේශපාලන තීන්දු තීරණවලදී නොපෙනෙන විදිහට අම්මා, තාත්තාගේ පැත්ත ගත්තා. තීන්දු තීරණ ගනිද්දී අපි තාත්තාගේ අත් දෙක අල්ලා ගත්තා මිසක් පස්සට ඇද්දේ නෑ. ඒ තීන්දු සමග අපට ගැරහුම් බාධක තිබුණත්, අපිත් ඒ ගමන යන්න පටන් ගත්තා. මේ හැම අවස්ථාවකදීම මං දැක්කේ, අපේ තාත්තාගෙ ගමනට අම්මා ආශිර්වාදයක් වන හැටියි. එයා දිරිමත් කළ ආකාරයයි. අම්මා හැම මොහොතෙම කිව්වේ එයා කරන කටයුත්ත හරියි කියලයි.

මං ඉපැදුණු දා ඉඳන්ම දැක්කේ ඉවරයක් නැති මැතිවරණ. ගෙදර ඇහුණේ දේශපාලන කතාබස්. මං ඒ කාලේ දරුවෙක් විදිහට වැටෙනවා. ඒ වගේ ම 89 භීෂණය කටුක අත්දැකීම් වින්දා. නිතරම මැතිවරණ. 2001 වසරේ උසස් . පෙළ ලියද්දී, ගෙදර මහ මැතිවරණයකට සූදානම් වෙනවා. 2010 අප්‍රේල් 05 මගේ දරුවා උපදිද්දිත් ඊට දින තුනකට පස්සේ මහ මැතිවරණයක් තිබුණා. මං ඉපැදිලා තියෙන්නෙත් ඒ වගේ කාලෙකයි. ඒ නිසා, දේශපාලනය වෘත්තිය කරගත් කෙනෙක් වුණු පියාගේ ගමන නවත්වන්න අපි කවදාකවත් බලපෑම් කළේ නෑ.

දියණියක් විදිහට කුඩා කල සිටම පියාගේ ආදරය ලබන්න, ඔහු ළඟින් ඉන්න ලැබුණු ඉඩප්‍රස්ථා අඩුයි. ඒ ගැන මොකද හිතෙන්නේ?

මං මේ කෘතිය ආරම්භ කරන්නෙම තාත්තාගේ රැකවරණය, පිය සෙනෙහස ගැන දක්වමින්. තාත්තා පාර්ලිමේන්තුවට ගිහින් ආපහු එනකොට නංගියි, මමයි ගේට්ටුව ළඟට දුවනවා. ඒ වෙලාවට තාත්තා අපි දෙන්නා අත්දෙකට වඩාගෙන ගෙට ගොඩ වෙනවා. එයා එන්නේ අපට කන්න මොනවා හරි අරගෙන‍. විවේකයක් තියෙන හැම වෙලාවකදිම තාත්තා අපි දෙන්නා ඇවිදින්න එක්කගෙන යනවා. අද වෙද්දි මේ ලෝකේ එයාට පෙන්නන්න පුළුවන් හැම ස්ථානයක් ම එයා අපට පෙන්නලා තියෙන්නේ. අපි නොගිය තැනක් නෑ. මගෙ විවාහය ළං වෙද්දී රටවල් බොහොමයකටම මා එක්කගෙන ගියා. අපි තුන්දෙනාගෙම පාසල් ගුරු දෙගුරු රැස්වීම්වලට හැමදාම ගියේ තාත්තා. අම්මා ගියේ නෑ. අම්මා ගෙදරදි අපට අවශ්‍ය රැකවරණය දුන්නා මිසක් කවදාකවත් ආවෙ නෑ. මගේ පියා සභානායක,ඒ වගේ ම ප්‍රබල ඇමැති ධුර දැරුවා. ඒත්, අපි හැමදාම පාසල් ගියේ පයින්. මං උසස් අධ්‍යාපනය ලබන්න පෞද්ගලික විශ්වවිද්‍යාලයට යද්දි, අවුරුදු හතරම ගියේ බස් එකෙන්. ඒත් තාත්තා බොහෝ වෙලාවට විශ්වවිද්‍යාලය ළඟටවෙලා මං එනකං බලා ඉන්නවා. වාහනේ එක්කගෙන යන්නේ නැතිව එහෙම කළේ අපට සමාජාවබෝධය ලබා දෙන්නයි. එදා මගේ යාළුවෝ තමන්ගේ වාහනවලින් ඉගෙන ගන්න ආවේ. ඒ අය කියනවා තාත්තට කියලා වාහනයක් ගන්න කියලා. එත් මං එහෙම ඉල්ලීම් කළෙත් නෑ. මං විශ්වවිද්‍යාලයෙන් එළියට එන දවසේ තමයි තාත්තා මට වාහනයක් අරන් දුන්නේ. එයා අපට මඟ පෙන්නපු හැටි දැන් අපට හොඳින් තේරෙනවා.

ජනාධිපති ධුර කාලය තව ටික කාලයකින් නැතිවෙනවා. එදාට අපට ඇති වෙන්න, නැතිවෙන්න දෙයක් නැහැ. අපි ඒ දේ තේරුම් අරන් ඉන්නේ. මං එදා වගේ ම අදත් ජීවත් වන්නේ සාමාන්‍ය කෙනෙක් විදිහටයි. සරලයි. අදටත් ගෙදරට අවශ්‍ය දේ ගන්න මං කඩේට යනවා. ඒ ශක්තිය අපට ඇති වුණේ පියාගේ මඟපෙන්වීම නිසයි. එතුමා තුළ තිබෙන සරලකම නිසයි. ඒ සාමාන්‍ය ජීවිතයට අපි හරි කැමැතියි. කවදාහරි දවසක වටකර ගැනීම්, පිළිගැනීම් අවසන් වන බව අපි දන්නා දෙයක්.

තාත්තා හැම‍වෙලේම කියන්නේ, “දරුවනේ අපට මේ තැන නැතිවුණ දවසට අපත් එක්ක හිනාවෙන්නවත් කෙනෙක් නැති වෙනවා” කියලයි. ඒක මගේ කන් දෙකේ රැව්දෙන දෙයක්. ඒ නිසා අපි බොහොම සරලව ඉන්න එක හොඳයි කියලා මගේ විශ්වාසයයි.

මගේ පියා අපට සෙනෙහස දුන් පියා විතරක් නෙමෙයි, අද වෙද්දී අපේ දරුවන්ට සීයා වෙමින් ඒ අයට සෙනෙහස දෙනවා. එදා පියා ගෙදරට ගොඩවුණේ අපේ නම් කියාගෙන. අද එන්නේ අපේ දරුවන්ගේ නම් කියාගෙන. එදා එයා එද්දි අපි දිව්වේ ගෙනාවෙ මොනවද කියලා බලාගෙන. අද අපේ දරුවනුත් ඒ විදිහට තාත්තා ළඟට දුවනවා. අදටත් අපේ ගෙදර තියෙන්නේ රජ පවුලක් කියන හැඟීම නෙමෙයි. සාමාන්‍ය නිවෙසක තියෙන තත්ත්වයයි. අම්මා එදා වගේ ම උයලා කෙසෙල් කොළේ ඔතලා දෙන බත් එක තමයි, තාත්තා තවමත් කන්නේ.

ඔබ එතුමා දකින්නේ වීරයකු විදිහටද?

වීරයකුටත් වඩා ආචාර්යවරයෙක්. මං මේ පොත ලිව්වේ මේ රටේ දුප්පත් මධ්‍යම පාන්තිකයන්ට. අපේ රටේ තරුණයො ඉලක්ක කරා යා යුත්තේ කොහොමද? ඉලක්ක ජය ගන්නේ කොහොමද කියන එක තාත්තාගේ ජීවිතයෙන් දැක ගන්න පුළුවන්. මේ කෘතිය මේ රටේ සුවහසක් දරුවන්ට ත්‍යාගයක් වෙයි.

මගේ පියා දේශපාලනඥයෙක් වගේ ම උත්තම පියෙක්. මගේ පියා උසස් . පෙළ කර තිබෙන්නේ හිරගෙදර ඉඳන්. තරුණයෙක් විදිහට වසර දෙකකට පස්සේ නිදහස් වුණේ. එතැන් සිට දේශපාලන තීන්දු තීරණ මත මගේ පියා දොට්ට දමන තැන් තිබෙනවා. ඒත් එතුමා වැටුණෙ නැහැ. දේශපාලන නායකයෙක් වුණා. හැටපන් ලක්ෂයක් පමණ වන ජනතාව එතුමා කෙරේ තැබූ විශ්වාසයට, ඔවුන් ගේ හීන එතුමා ඉටු කරයි කියලා මං හිතනවා . තාත්තා කියන්නේ, මට මෙයින් පස්සේ ගෙදර ගෙනියන්න දෙයක් නෑ. අම්මටයි, මටයි තියෙන්නේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන එකයි කියලයි. මගේ පියා මේ ධුරයෙන් නික්මෙන දාට, මගේ දෙවැනි කෘකතියත් ලියා අවසන් කරන්න වාසනාව ලැබෙයි කියලා මං හිතනවා.

2015 ජනවාරි අටවැනිදා ඔබට දැනුණෙ මොනවගේ හැඟීමක්ද?

සතුටුයි. එත් මං ඒක දකින්නේ තවත් අරගලයක් විදිහටයි. අරගලයක ඇරැඹුමක් විදිහටයි. ඒක දේශපාලන ඝට්ටනයක්. දේශපාලන සිද්ධි හරහා එන අරගලයක පෙරනිමිත්තක් විදිහටයි මං ජනාධිපති පුටුව දකින්නේ.

ජයග්‍රහණයට පෙර දැනුණෙ මොනවගේ හැගීමක්ද?

හෙට දවසේ වෙන්නේ මොනවද කියලා අපි දැනගෙන හිටියෙ නැහැ. හරිම හිස් විදිහටයි අපේ ජීවිත ගලා ගියේ. වෙන්නේ මොනවද කියලා හිතන්න පවා අකමැති වුණා. මගෙ අම්මට එක එක අය කියනවා පැරදුණොත් ගෙවල් විනාශ කරයි කියලා. තාත්තා 40 වසරක් දේශපාලනය කළ කෙනෙක් විදිහට එයා ඒ වගේ අදහසක හිටියේ නැහැ. අපි එදා හිටියෙ ඕනම ‍දේකට මුහුණ දෙනවා කියලයි. ඒත් දරුවො පුංචි නිසා හිතේ චකිතයක් තිබුණා. දිනන්න කලින් දවසේ රෑ මගේ නංගිගෙ දුව ඇවිත් අහනවා අපේ අම්මගෙන්, ආච්චි අම්මේ හෙට අපට මොකද වෙන්නේ කියලා. එදා ඒ වචන පෙළෙන් අම්මයි, තාත්තයි තිගැස්සුණු බව මං දැක්කා.

දියණියක විදිහට පිය චරිතය ආදර්ශයට ගන්නේ කොහොමද?

තාත්තා කිසි දෙයක් අපට බලෙන් දුන්නේ නැහැ. හැබැයි අපට මායිම් පෙන්වනවා. මේ මායිමෙන් එහා යන්න එපා කියනවා. අපට නීති තියෙනවා. එතුමා රටට බෙදන හැන්දෙන්මයි අපටත් බෙදන්නේ. දරුවන්ට එක හැන්දක්, රටට එක හැන්දක් එතුමා ළග නෑ. රටේ ජනපතිගෙ දරුවෝ වුණා කියලා අපට ඕන විදිහට බලය පාවිච්චි කරන්න බැහැ. අපි නීති පද්ධතියක ඉන්නේ. අපට තීන්දු තීරණ ගන්න බැහැ. ජනාධිපති මායිමේ ඉන්නේ තාත්තා විතරයි. අපට ඕන විදිහට කාර්යාලවලට යන්න බැහැ. ජනාධිපති ලේකම් කාර්යාලයට එන්නේ පවා එතුමාගෙ අවසරය ඇතිවයි. තාත්තා අප රටේ සල්ලිවලින් විදේශ ගමන් එක්කගෙන යන්නේ නෑ. එක්කගෙන ගියත් යන්නේ ආරාධනයකට. නැත්නම්, අපේ අතින් වියදම් කරගෙනයි.

දේශපාලන දරුවෙක් වුණහම සමාජයෙන් ලැබෙන්නේ මොනවගේ තත්ත්වයක්ද කියන දෙය ඔබ මේ කෘතියේදී මතු කරනවා. ඒ ගැන කතා කළොත්?

තාත්තා දේශපාලනඥයෙක් වුණා කියලා, තාත්තට කරන්න අකමැති දෙයක් තිබෙනවා නම් ඒවා කළේ නෑ. ඒනිසා, ගුරුවරු, ඥාතීන් ඒ තරහා පිට කරන්නේ දරුවන්ගෙන්. ඒක මං මගේ ජීවිතයේදී අත්දැකපු දුක්බර තත්ත්වයක්.

මෙහි පිදුම , අනේකවිධ දුක් දෝමනස්සයන් අවසානයේ වේදනාව, දුක හා අහිමිවීම පමණක් දරාගෙන ජීවත් වූ, ජීවත් වන ශ්‍රී ලාංකේය දේශපාලන නායකයන්ගේ දියණිවරුන්ට. ඒ ගැන කතා කළොත්?

මං මේ කෘතියේ පිදුම වෙන් කළේ, ජනාධිපති විලියම් ගොපල්ලව දියණිය චන්ද්‍රිකා ඉරංගනී ගොපල්ලව , අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක, ජනාධිපති ප්‍රේමදාස දියණිය දුලංජලී ප්‍රේමදාස, ජනපති ඩී. බී. විජේතුංග දියණිය චිත්‍රාංගනී කුමාරි විජේතුංග, ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක දියණිය යශෝධරා කුමාරණතුංග වගේ ම, රෝහණ විජේවීර දියණිය ඊශා වි‍ජේවීර දියණිවරුන්ටයි.

උපුටා ගැනීම - ඉරෝෂිණී දීපිකා

news24.lk
News24
sri lanka news 24
24 news