රෝහිත රාජපක්ෂගේ අභ්‍යවකාශ ඉංජිනේරු උපාධිය ගත් හැටි මහින්දම කියයි

 08/17/2017 - 19:35
12232 reads

රෝහිත රාජපක්ෂ  අභ්‍යවකාශ ඉංජිනේරු  උපාධිය ගත් අකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කරුණු දක්වා තිබෙනවා.

මාධ්‍ය වෙත යොමුකළ නිවේදනයකින් හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබඳ දක්වා ඇත්තේ මෙවැන්නක්.

පසුගිය අඟහරුවාදා මුල් වරට මගේ බාලම පුත් රෝහිත ද මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ප්‍රශ්ණ කරන ලදී.

ඔහුගෙන් අසා තිබුණු ප්‍රශ්ණය වූයේ ලංකාවේ මුල් වරට සන්නිවේදන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයට යැවූ  'සුප්‍රීම් සැට්’ නැමති සමාගමේ ඔහුට කොටස් හිමිකාරිත්වයක් තිබෙනවාද යන්නයි.

රෝහිත ඔවුන්ට පවසා තිබුණේ ඔහුට සුප්‍රීම් සැට් සමාගමේ ඍජු හෝ වක්‍ර කොටස් අයිතියක් නැති බවත්, ඔහු 2012 ජුලි මාසයේ සිට 2014 ජුලි මාසය දක්වා එකී සමාගමේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂක හැටියට වැටුප් ලබන සේවකයෙකු වූ බවය.

2014 ජුලි මාසයෙන් පසු වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා ඔහු එම රැකියාවෙන් ඉවත් විය.

මූල්‍ය අපරාධ කොට්ඨාශය ඇසූ තවත් පැනයක් වූයේ සුප්‍රීම් සැට් සමාගමට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට ඔහු උදව් කළේද යන්නයි.

රෝහිත ඔවුන්ට පවසා සිටියේ ඔහු 2012 මේ සමාගමට බැඳෙන අවස්ථාව වන විට ඔවුන්ට අවශ්‍ය බලපත්‍ර සියල්ල ලබාගෙන තිබුණු බවත්, ඔහුට සුප්‍රීම් සැට් සමාගම හඳුන්වා දුන්නේ තරුණ උපාධිධාරීන් තම සමාගමට බඳවා ගැනීම සඳහා එංගලන්තයේ සවුත්හැම්ටන් විශ්වවිද්‍යාලයට පැමිණි චීන ව්‍යාපාරිකයෙකු විසින් බවයි.  

බ්‍රිතාන්‍යයේ අභ්‍යවකාශ ඉංජිනේරු පාඨමාලාවක් පවත්වාගෙන යන එකම විශ්ව විදයාලය සවුත්හැම්ටන් විශ්ව විද්‍යාලයයි.

2012 දී මේ පාඨමාලාව සම්පූර්ණ කළ උපාධිධාරීන් හත්දෙනෙකු වූ අතර මගේ පුත් රෝහිතද ඒ අතර විය.

2012 දී සුප්‍රීම් සැට් ආයතනයද හවුල්ව අභ්‍යවකාශ ගත කරනු ලැබූ චන්ද්‍රිකාව අයත් වන්නේ චීන ආණ්ඩුවටයි.

මේ චන්ද්‍රිකාවේ ඇති ට්‍රාන්ස්පොන්ඩර් සන්නිවේද පද්ධති 36 න් 6 ක් සුප්‍රීම් සැට් ආයතනය විසින් අවුරුදු 12 කට බදු පදනම මත අරගෙන ඇත.

ලංකාවේ ගැනුම් කරුවන්ට සන්නිවේදන සේවා ලබාදීම මේ සමාගමේ අරමුණයි.

මෙම සමාගමේ ප්‍රධාන ආයෝජකයා සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බව මට දැනගන්නට ලැබී ඇත.

 

news24.lk
News24
sri lanka news 24
24 news
MR
Mahinda Rajapaksha
Rohitha Rajapaksha
Supreme SAT