විග්නේෂ්වරන් අඩියක් පිටුපසට ගනියි

 06/19/2017 - 19:34
2 reads

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ධීවර අමාත්‍යවරයාට මසක කාලයක් නිවාඩු ලබාගන්නා ලෙස තමන් කළ නියෝගය වෙනස් කරන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා, විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබෙනවා.
විග්නේෂ්වරන් මහතා එහිදි සඳහන් කර ඇත්තේ විපක්‍ෂ නායකවරයා අදාළ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් වගකීම භාරගන්නේ නම් සහ ඔවුන් දෙදෙනා පිළිබඳ පවත්වන ස්වාධීන පරීක්‍ෂණ වෙත බලපෑම් නොකරන්නේ නම් අදාළ නියෝගය වෙනස් කරන බවයි.
කෙසේ වෙතත්, අදාළ ලිපය සම්බන්ධයෙන් ආර්. සම්බන්ධන් මහතා මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව උතුරු පළාත් සභා මන්ත්‍රී
එම්.කේ සිවාජිලිංගම් මහතා පැවසුවා.
විපක්‍ෂ නායකවරයා මීට පෙර විග්නේෂ්වරන් මහතා වෙත ද ලිපියක් යොමු කර තිබුණා.
එහිදි සම්බන්ධන් මහතා සඳහන් කළේ අදාළ අමාත්‍යවරුන් වෙත ලබා දී තිබූ නියෝග වෙනස් කරන්නේ නම් විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් පක්‍ෂව කටයුතු කළ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ නියෝජිතයන්ගේ තීරණය වෙනස් කරන බවයි.
එම පක්‍ෂයේ තීරණය වෙනස් වුවහොත් සී.වී විග්නේෂ්වරන් මහතාට බහුතර බලය ලබාගැනීමේ හැකියාව පවතිනවා.
යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමා ඇතුළු ආගමික නායකයින් ලබාදුන් උපදෙස් අනුව පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා අදළ තිරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 
මේ අතර, අදාළ පළාත් අමාත්‍යවරුන් දෙදෙනාට එරෙහිව එල්ල කරන චෝදනාවලට විරෝධය පළකරමින් අද වව්නියාව නගරයේ දී විරෝධතාවක් පැවැත්වුනා.
එහිද දෙපාර්ශව අතර,  නොසංසුන්තාවක් ඇති වූ බවයි වාර්තා වන්නේ.
ඒ, ප්‍රධාන අමාත්‍යවරයාට සහය දක්වන පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමගයි.
අනතුරුව වව්නියව පොලිස් නිලධාරීන් පැමිණ තත්ත්වය සථයකට පත් කළ බව සඳහන්.