කිරි වැඩි වෙලා විසි කරන්නෙ රටටම කිරි ඉතිරිලා ද?

 06/19/2017 - 12:35
9 reads

මෙරට කිරි නිෂ්පාදනයේ ප්‍රධාන භූමිකාවේ නිරත වන මිල්කෝ සමාගම දිනපතා කිරි ලීටර් ලක්ෂ ගණනින් විනාශ කරන බව පසුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කරන ලදී. මේ අප එම කිරි අර්බුදය පිළිබඳව මිල්කෝ සමාගමේ සභාපති කීර්ති මිහිරිපැන්න සහ මෙරට කිරි නිෂ්පාදනයේ යෙදෙන අනෙක් සමාගම වන පැළවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක සමඟ කළ සාකච්ඡාවකි.

බවුසර් ප්‍රමාද වුණාම කිරි විනාශ කරන්න සිද්ධ වෙනවා

-මිල්කෝ සභාපති කීර්ති මිහිරි පැන්න-

 

මිල්කෝ සමාගම දිනකට කිරි ලීටර් ලක්ෂ ගණනක් විනාශ කරන බවට පැතිර යන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?

මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතරු මත පදනම් වූ පුවතක්. ශ්‍රී ලංකාවේ අතිරික්ත කිරි ප්‍රමාණය මිලදී ගන්න එකම ආයතනය තමයි මිල්කෝ. අපේ අඹේවෙල කම්හලේ දිනකට කිරි සැකසුම් ධාරිතාව ලීටර් ලක්ෂ 2යි. ඒත් අපි දිනකට කිරි ලීටර් 2,75,000ක් මිලදී ගන්නවා.

ඉතින් සැකසීමට හැකි ධාරිතාවට වඩා කිරි මිලදී ගත්තොත් එය අපතේ යෑම සිදු වෙනවානේ.

අපි වැඩි වශයෙන් කටයුතු කරන්නෙ දෙනුන් තුන් හතර දෙනා ඉන්න සුළු පරිමාණ කිරි ගොවියන් එක්කයි. ඇත්තෙන්ම අපි කිරි අතිරික්තයක් මිලදී ගන්නේ කිරි ගොවියාට සහන සලසන්න කටයුතු කරන හින්දයි. අපි ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවන්න මාසෙකට රුපියල් මිලියන 500කට වැඩි මුදලක් වැය කරනවා.

කොහොම හරි මේ වැඩිපුර කිරි හලන්න සිදු වෙච්ච එක බොරුවක් නෙමෙයි නේද?

මෙහෙම කිරි හලන මුල් වතාව මේක නෙමෙයි. කොහොම වුණත් කිරි ලීටර් ලක්ෂ ගණනක් හලන කතාව නම් බොරු. අපි මිලදී ගන්න කිරි අතිරික්තය පසුව
නිෂ්පාදන කාර්යාවලියට යොදා ගන්නවා. නමුත් මේ අතරතුර කිරි එකතු කරන බවුසර් වල ප්‍රමාද වීම් වගේ බොහෝ හේතු නිසා කිරිවල නිසි ප්‍රමිතිය නැතිව යනවා. එතකොට ඒ කිරි නරක් වෙනවා. එහෙම වුණාම ඒ කිරි විනාශ කරන්න සිද්ධ වෙනවා. මොකද අපට නරක් වූ නිෂ්පාදන පාරිභෝගිකයාට දෙන්න බෑනෙ.

ඔබ සමාගම මිලදී ගන්න අතිරික්ත කිරි සැකසුම සඳහා වැඩපිළිවෙළක් නැද්ද?

මේ සඳහා දැනටමත් අඹේවෙල කර්මාන්ත ශාලාව දිනකට තවත් කිරි ලීටර් ලක්ෂ 3ක් සැකසිය හැකි ආකාරයට වැඩි දියුණු කෙරෙනවා. තව මාස දෙක තුනකින් එහි වැඩකටයුතු ඇරඹේවි. ඒ වගේම බඩල්ගම දිනකට කිරි ලීටර් ලක්ෂ2ක් සැකසිය හැකි කම්හලක් ආරම්භ වනවා. එහි ධාරිතාව ලීටර් ලක්ෂ 4 දක්වා වැඩි කරනවා.

ඔබ කිරි ගොවියන් නඟාසිටුවීම ගැන කතා කරද්දී රජය ආනයනික කිරිපිටි සඳහා වන බදු 225% සිට 45% දක්වා අඩු කිරීමට තීරණය කොට තිබෙනවා. මෙහෙම දේවල්වලින් දේශීය කිරි ගොවියන් නඟාසිටුවන්නෙ කොහොමද?

ඇත්තෙන්ම එය නොවිය යුත්තක්. මේ බදු අඩු කිරීමෙන් රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කිරිපිට ආනයනය කෙරෙනවා. මේ ආනයනික කිරිපිටි කිලෝවක මිල වෙන්නෙ රුපියල් 450ක්. අපිට දේශීය වශයෙන් කිරි කිලෝවක් සකසන්න රුපියල් 660ක් වැය වෙනවා. බලශක්තියට රුපියල් 60ක් වැය වෙනවා. හැමදේම එකතු වුණාම කිරි කිලෝවක
නිෂ්පාදන වියදම රැපියල් 850ක්. මේ හේතුව නිසා දේශීය කිරි ගොවියාට සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය වෙන්නෙ නැහැ. මේක දේශීය කිරි ගොවියට විශාල අසාධාරණයක්. ඇත්තටම සිදුවිය යුත්තේ ආනයනික කිරිපිටිවල බදු මිල වැඩි කිරීමයි.

අපේ රටේ නාන්න කිරි තියෙනවා ඒත් පිටරටින් ගෙන්වනවා
-පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක-

 අපේ රටේ කිරි අවශ්‍යතාව හා එය සපුරාලීම පිළිබඳව ඔබේ අදහස

කොටින්ම මේ රටේ නාන්න තරම් ප්‍රමාණවත් වන තරමට කිරි තිබෙනවා. ඒ කියන්නෙ කිරි අතිරික්තයක් තිබෙනවා. එහෙම තියෙද්දි නවසීලන්තය වගේ රටවල්වලින් ශ්‍රී ලංකාවට කිරි ගේන්න ඕනෙද? ගිය අවුරුද්දෙ ටොන් 90,000ක කිරිපිටි තොගයක් මෙරටට ආනයනය කරලා තියෙනවා. මම නං දකින්නෙ මේක මහා කාලකණ්ණිකමක් හැටියටයි.

අපේ රටේ කිරි නිෂ්පාදනය සිදුවෙනවා. මිල්කෝ හැරුණාම අපේ විතරක් කර්මාන්තශාලා තුනක කිරි නිෂ්පාදනය සිදුවෙනවා. මීට අවුරුදු තුනකට කලින් ආනයනය කළේ කිරිපිටි ටොන් 60,000යි. මේ වෙද්දි ඒක ටොන් 30,000කින් ඉහළ ගිහින්. ඇත්තටම මෙහෙම තත්ත්වයක් යටතේ සිදුවිය යුත්තේ කිරිපිටි ගෙන්වන එක නතර කිරීමයි.

මීට දශක කීපයකට පෙර එළකිරි පානය කළ ජාතියක් වූ අපි පිටිකිරිවලට හුරු වීමට බලපෑ හේතු මොනවාද?

ඇත්තටම හුරුවුණා නෙමෙයි. කිරිපිටිවලට බලෙන් හුරු කළා. දැන් අපිටත් ඒක නතර කරගන්න බැරිවෙලා. ඉස්සර පාන් කන එක ලැජ්ජාවට හේතුවක්. දැන් ඒක විලාසිතාවක් වෙලානෙ. ඔය එළකිරි බොන එකටත් වෙලා තියෙන්නෙ ඒකම තමයි.

ලෝකෙ කොහෙද පිටි කාලා තේ බොන්නෙ. කිරිපිටිවලට වතුර දාලා දියර කිරි හදාගෙන තමයි අපි තේ බොන්නෙ. පිට රටවල්වලින් කිරිපිටි කරලා එවන්නෙ ප්‍රවාහනයට පහසු හින්ද. ඒ වගේම ඒ පිටිවලට නොයෙක් අහිතකර දේවල් මිශ්‍ර කරලා තියෙනවා. ඉතින් අපේ රටේ වීසි කරන්න තරම් කිරි තියෙද්දී මොනවටද පිටරටින් කිරිපිටි ගේන්නෙ.

අපි කිරි විසිකරන තැනට පත්වෙලා තියෙන්නෙ කොහොමද?

අපේ රටේ ලක්ෂ 13ක එළදෙනුන් ගහනයක් ඉන්නවා. ඒ අතරින් කිරි ගන්නෙ 2,40,000ක පමණ දෙනුන් සංඛ්‍යාවකින් විතරයි. එහෙම ගන්න කිරි ශීත කරලා ගබඩා කරන්න පහසුකම් තියෙන්න ඕනෙ. ඒවා ප්‍රවාහනය කරන්න ශීතකරණ බවුසර් ඕනෙ. ඒ පහසුකම් අපට අවශ්‍ය තරමට නැහැ. අපි එළකිරි බීමට පුරුදු වුණා නම් මේ ප්‍රශ්නය සෑහෙන දුරකට විසඳෙනවා. මේ රටේ දේශගුණයට, රටට, ආර්ථිකයට මේ හැම දේටම ගැළපෙන ක්‍රමය තමයි ඒ. ඇත්තටම කරන්න ඕනෙ පිටින් ගේන එක නෙමෙයි, අපේ කිරි හා කිරි නිෂ්පාදන අපනයන කරන එකයි. අපි එහෙම කළ හැකි තත්ත්වයක ඉන්නවා.

එහෙම අපනයනය කරන්නෙ කොයි රටවලටද

ඇයි චීනය වගේ රටවල්වලට අපනයනය කරන්න පුළුවන්නෙ. අපි චීනෙන් කොයිතරම් දේවල් ගෙන්නනවද. ජපානයෙන් කොච්චර දේවල් ආනයනය කරනවද? අපි ඒ රටවල්වලින් ගන්න කොට ඒ රටවල්වලට අපෙනුත් ගන්න ගිවිසුම්වලට එළඹෙන්න බැරි ඇයි?

මේ ප්‍රශ්නයට රජයට මැදිහත් වෙන්න බැරිද?

කවදද ලංකාවේ 'රජයක්' තිබුණෙ? දේශපාලකයෝ ටිකක් එනවා. ඒ කට්ටිය යනවා. ආර්ථික ප්‍රතිපත්තියක් කියලා එකක් තිබුණද? එහෙම එකක් තිබුණනං මෙහෙම වෙනවද? අපි කන්නෙ, බොන්නෙ පිටරටින් ගෙනෙන දේවල්. රජයක් තියෙනව නම් අපේ නිෂ්පාදන

තිබිය යුතුයි. අපේ රට සමහර පැතිවලින් ලෝකයේ පොහොසත්ම රටක්. අපිට කෑම බීම නිෂ්පාදනය කළ හැකියි. දවසට පැය 12ක් අව්ව වැටෙනවා. මුං ඇට, කුරක්කන් වගේ දේවල් මෙහෙ ඉතා හොඳින් වැවෙනවා. ඒත් ඒවත් අද පිටි රටින් ගෙන්වනවා. අපේ රටේ තියෙන්නේ 'ලාභනං ගෙනල්ල කන්න' කියන න්‍යාය. ඒකෙන් වෙන්නෙ රට නැති වෙන එක.

කිරි කර්මාන්තය නඟා සිටුවන්න ඔබ යෝජනා කරන්නෙ මොන වගේ වැඩ පිළිවෙළක්ද?

මුලින්ම පිටරටින් පිටි කිරි ගෙන්වන එක සීමා කරන්න ඕනෙ. එතකොට අපේ කිරි වීසි කරන්න සිද්ධ වෙන්නෙ නැහැ. ඉන් පස්සෙ අපි ඒක අතෑරලා ඉන්න දෙනුන්ගෙන් කිරි ‍ෙදාවන්න පටන් ගන්න ඕනෙ. එහෙම වුණොත් 2018 විතර වෙනකොට බටර් විතරක් නෙමෙයි අපිට කිරිත් පිටරට යවන්න පුළුවන්.

(ගැමුණු රත්නායක - මව්බිම)