ජනපති ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි හමුවෙයි

 05/14/2018 - 13:16
10 reads

ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ ටෙහෙරාන් නුවරදී පැවැත්වුණා.

මෙහිදී ඉරාන ආධ්‍යාත්මික නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  හෘදයාංගම ලෙස පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා සඳහන් කළේ.

අතීතයේ පටන් පවතින ශ්‍රී ලංකා - ඉරාන සබදතා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වැදගත්කම මෙහිදී පෙන්වාදුන් ඉරාන ආධ්‍යාත්මික නායකයා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා මෙන්ම ජනතාව අතර සබදතා ද වැඩිදියුණු කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුදී තිබෙනවා.

රටවල් දෙකම භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානවල පිහිටා තිබෙන අතර, ඒ අනුව ඉදිරි දියුණුවට රටවල් දෙකටම ඇති ශක්‍යතාවයන් උපරිම ලෙස භාවිතයට ගැනීමේ වැදගත්කම ද එහිදී අවධානයට ලක්වුණා.

මෙහිදී ඉරාන ආධ්‍යාත්මික නායකයකා විශේෂයෙන් සදහන් කළේ තමන් කවදත් ශ්‍රී ලංකාවේ තේවලට ඉතා කැමැත්තක් දක්වන බවයි.

දෙරටේම ජනතාවගේ සිතුම් පැතුම්වල සමානතා පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සුහද කතාබහේදී අවබෝධ වූ බව ද ඉරාන අධ්‍යාත්මික නායකයා සදහන් කළා.

ඒ අනුව දෙරෙටේ සබදතා ශක්තිමත් කර ගනිමින් සහෝදර රාජ්‍යයන් ලෙස ඉදිරියටයාමේ හැකියාව පෙන්වා දුන් ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊයේ දින දෙරට අතර අත්සන් තැබුණු නව අවබෝධතා ගිවිසුම් සක්‍රියව ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අධ්‍යාත්මික නායකයෙකු වශයෙන් එතුමා ඉටුකරන මෙහෙය ඇගයීමට ලක් කළා.

බෞද්ධ දර්ශනය මත පදනම් වූ සමාජයක් ශ්‍රී ලංකාවේ පවතින බවත්, ආගමික දර්ශනයන් තුළින් සමාජය සුවපත් කළ හැකි බවත් ජනාධිපතිවරයා  සඳහන් කළා.

ඉරානයේ තාක්ෂණික දියුණුව ද මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා  ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය සදහා එම අත්දැකීම් හිමිවනු ඇති බවට ද විශ්වාසය පළ කළා.

ඉරානයේ රාජ්‍ය සංචාරයක් සඳහා  තමා වෙත ආරාධනා කිරීම සහ එහිදී දැක්වූ හෘදයාංගම පිළිගැනීම සහ ආගන්තුක සත්කාර පිළිබද ජනාධිපතිවරයා  මෙහිදී ඉරාන අධ්‍යාත්මික නායකයා වෙත ස්තූතිය පිරිනැමුවා.

මේ අතර ඉරානයේ ටෙහෙරාන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ජනාධිපතිවරයා ඊයේ (13) පස්වරුවේ හමුවුණා.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබද මෙහිදී කරුණු පැහැදිළි කළ ජනාධිපතිවරයා  ඔවුන්ගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත වූවා.

විද්වතුන්, වෘත්තියවේදින්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටී අතර ඔවුන් ඉතා ගෞරවයෙන් යුතුව ජනාධිපතිවරයා  පිළිගනු ලැබුවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Maithripala Sirisena
Iran
ayatullah ali Khamene