විගණන පනත් කෙටුම්පත විවාදය පමා කිරීමෙන් අර්බුද රැසක්

 05/11/2018 - 15:53
810 reads

අද විවාදයට ගැනීමට නියමිතව තිබු ජාතික විගණන පනත් කෙටුම්පත විවාදයට නොගෙන තවදුරටත් කල්දැමීමෙන් අර්බුද රැසක් මතුවන  බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ  NEWS24 කළ විමසීමකදී යි.

ජාතික විගණන පනත් කෙටුම්පත විවාදයට නොගැනීම සම්බන්ධයෙන් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ පනත් කෙටුම්පතේ සංශෝධන කිහිපයක් තවදුරටත් සිදු කළ යුතු බවට රාජ්‍ය නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව අදාළ විවාදය කල් දැමු බවයි.

අද විවාදයට නොගත්  ජාතික විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් වන තීරණය මීළඟ පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමේ දී ගනු ඇති බව  පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ ජාතික විගණන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බවයි.

ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ජාතික විගණන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවා.

විගණන සේවා කොමිෂන් සභාවේ බලතල කාර්යය සහ කර්තව්‍ය පිළිබඳව විදිවිධාන සැලැස්වීම සඳහා ද ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහා ද විධි විදාන සැලැස්වීම මෙමගින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම රාජ්‍ය මුල්‍ය පිළිබඳ විගණකාධිපතිවරයාගේ කාර්යයභාරය නිශ්චිතව දැක්වීම ද මෙයින් සිදු වනු ඇති.

news24.lk
News24
sri lanka news 24
24 news
Auditor General Gamini Wijesinghe
National Audit Bill