පාර්ලිමේන්තුවේ අහෝසි වූ කාරක සභාවල ඉදිරි කටයුතු ගැන පැහැදිලි කිරීමක්

 04/17/2018 - 09:17
10 reads

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමග කාරක සභා රැසක් අහෝසී වී ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසනවා.

ඒ අනුව, පොදු ව්‍යාපාර රාජ්‍ය මුදල් පිළිබඳ උපදේශක, ස්ථාවර යන කාරක සභා සහ විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාව ද අහෝසී වී ඇති බවයි හෙතෙම කියා සිටියේ.

නීල් ඉද්දවෙල මහතා කියා සිටියේ දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබූ පනත් කෙටුම්පත් සහ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ද ඒ අනුව අහෝසි වන බවයි.

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමෙන් පසුව එම පනත් කෙටුම්පත් සහ යෝජනා නැවත සකස් කර යළි  න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට හැකියාව පවතින බව ද ඔහු සඳහන් කළා.

08 වැනි පාර්ලිමේන්තුවේ පළමු  සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 12 වනදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව යළි පාර්ලිමේන්තුව මැයි මස 08 වන දින කැඳවීමට නියමිතයි.

කෙසේ වෙතත්, ආංශික අධීක්ෂණ කාරක සභාව, උසස් නිළතල පිළිබඳ කාරක සභාව සහ විශේෂ කාරක සභා අහෝසිවීමක් සිදු නොවන බව ද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා වැඩිදුරටත් සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news