මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙට දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට

 04/16/2018 - 18:08
48 reads

ඇප කොන්දේසි සපරාලීමට නොහැකි වීම හේතුවෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි ඒ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ.

2014 වර්ෂයේ ක්‍රිඩා අමාත්‍යධුරය දරණ සමයේ කැරම්බෝඞ් මිලදී ගැනීමේ ගනුදෙනුවකදී රජයට රුපියල් මිලියන  39 ක අලාභයක් සිදු කළ බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව චෝදනා එල්ල වුණා.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද දිනයේ ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබූ අතර, ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

එහිදි සැකකාර මන්ත්‍රීවරයා රුපියල් 35,000 ක මුදල් සහ රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඒ අනුව, ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ අතර, ගමන් බලපත්‍රය අධිකරණය වෙත භාරදෙන ලෙසටයි නියෝග කළේ.

ලබන මස 21 වන දා යළිත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දැනුම්දුන්නා.

වෙනත් නඩුවකට අදාළව මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය මේ වන විට මහාධිකරණයේ පවතිනවා.

 

ඒ බව ඔප්පු කිරීම සඳහා පිළිගත් සාක්‍ෂි ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා අපොහොසත් වීම හේතුවෙන් හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේ තමන් සිරගත කරනු ඇතැයි සිතමින් ගමන් මල්ලක්ද සහිතවයි.

ප්‍රකාශය ලබාදීමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා.

මම වාචිකව උපදෙස් දුන්නා කියල පොදු දේපළ පනත යටතේ  අතඅඩංගුවට ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මට එන්න කියලා තියෙන්නේ, මන් මගේ රෙදිත් අරගෙන ආවා. පෙබරවාරි මාසේ වෙනකන් මේ රටේ ජනතාව අගමැති තුමාට කිව්වා අයින් වෙන්න කියල, එජාපය කිව්වා නායකත්වයෙන් අයින් වෙන්න්න කියලා. එතුමා නායකත්වයෙන් අයින් වෙන්නෙත් නෑ  ආණ්ඩුවෙන් අයින් වෙන්නෙත් නෑ. එතුමා පරණ පුරුද්දට මිනිස්සු හිරේ දානවා. ඒ නිසා මේ ආණ්ඩුව හිතනවා නම් අපිව හිරේ දාන්න අපිව කූඩු කරලා මේ ආණ්ඩුවට විරුද්ධව තියන සටන නවත්තන්න පුළුවන් කියලා. ඒක කවදාවත් කරන්න බෑ. හිර ගෙවල් දාහක ගියත් මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන දේවල් අපි කරනවා. මේක පොදු දේපල පනතේ දාන්නේ, ඇප දෙන්නේ නෑ. මේක පොදු දේපළ පනතට යටත් වෙන්නේ නෑ. ලංකා සතොස කියන්නේ පෞද්ගලික සමාගමක්., නමුත් අවශ්‍ය ඕන විදියට නීති හදලා නඩු හදාලා තමයි මේ සියලු කටයුතු කරන්නේ. ඒ නිසා ඒ ගැන අපි පසුතැවිලි වෙන්නේ නෑ. අපි මේවාට මුහුණ දෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news