උදාවූ සිංහල අලුත් අවුරුද්ද උත්කර්ෂවත් අන්දමින් රටම සමරයි

 04/14/2018 - 12:40
48 reads

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පූර්ව භාග 8.13 ට යෙදුන සුභ මොහොතින් අද උදා වුණා.
සමස්ත ශ්‍රී ලාංකිකයින් අවුරුදු උදාව පිළිගනු ලැබුවේ ඉතා උත්කර්ෂවත් ලෙසයි.
අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද පූර්ව භාග 1. 49ට ආරම්භ වූ අතර දිවයින පුරා පිහිටි ආගමික ස්ථානවලට සැදැහැවතුන් එක් රැස්ව සිටිනවා.
පුණ්‍ය කාලය හෙවත් නොනගතය අවසන් වීමට නියමිතව ඇත්තේ අද අපරභාග 2.37 ටයි.
අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත පූර්වභාග 10.40ට යෙදී තිබුණා.
නිල්පාට වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර දිශාව බලා ලිප් බැඳ ගිණි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කිරිබතක් ද පිළියෙල කර ගැනීම මැනවි බව නැකත් සීට්ටුවේ සඳහන් වුණා.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය යෙදී තිබුණේ පූර්ව භාග 11.53 ට යෙදුන සුභ මොහොතටයි.
හිස තෙල් ගෑමේ නැකත ලබන 16 වන සදුදා පෙරවරු 10.16 ට යෙදී ඇති අතර හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය කථා නායක කරූ ජයසූරිය මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ චාරිත්‍රය යෙදී ඇත්තේ අප්‍රේල් 19 වන බ්‍රහස්පතින්දා දිනයි.
එය ද සිංහල දෙමළ අලුත් අවුරුද්දේ වැදගත් චාරිත්‍රයක් වන අතර, පූර්වභාග 06.03 ට නැගෙනහිර දිසාව බලා පිටත්වීම මැනවි බව නැකැත් සීට්ටුවේ සඳහන්.
රටවටා සිංහල, දෙමළ අලුත් අවුරුද්ද සැමරීම පිළිබඳ තොරතුරු දැනගැනීමට අප නිව්ස් 24 වාර්තාකරුවන් සම්බන්ධ කරගත්තා.
හින්දු චාරිත්‍රවලට අනුව දෙමළ ජනතාව ද අලූත් අවුරුද්ද සැමරීමට කටයුතු කළේ මහත් යුහුසුළුවයි.
ඒ පිළිබඳ තොරතුරු ගෙන එන වවුනියාව නිව්ස් 24  වාර්තාකරු මාධව කුලසුරිය කියා සිටියේ වවුනියාව, මන්නාරම,මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කයන්හි ජීවත් වන සිංහල සහ දෙමළ ජනතාව එක්ව අලුත් අවුරුද්ද පිළිගත් බවයි. උතුරු පලාතේ ජීවත් වන හින්දු සහ සිංහල ජනතාව එක්ව අවුරුදු උත්සව රැසක්ද සංවිධානය කර තිබූ බවත් එහිදී සිංහල ජනතාවත් දෙමළ ජනතාවත් එක්ව නව අවුරුද්දේ චාරිත්‍ර සමරනු දක්නට ලැබුණ බවයි ඔහු කියා සිටියේ.
දකුණේ ජනතාව අලුත් අවුරුදුද සැමරූ ආකාරය පිළිබඳ තොරතුරු ගෙන එන  නිව්ස් 24 වාර්තාකරු චන්දික ලියනගේ කියා සිටියේ මාතර නගර පුරා සංචාරය කිරීමේදි නව අවුරුදු උදාවත් සමග ජනතාව උද්යෝගයෙන් යුතුව අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය දක්නට ලැබුණු බවයි. එසේම නොනගත කාලය තුළදී පැවැත්වෙන එකම පෙරහැර මාතර නගරයේ වීදි සංචාරය කළ බවද ඔහු කියා සිටියා.
ඵෙතිහාසික කන්ද උඩරට ජනතාව ද  ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට කටයුතු කළ බවයි නිව්ස් 24 වාර්තාකරු හේරත් ඒකනායක සඳහන් කළේ.
රජරට ප්‍රජාව අලුත් අවුරුද්ද පිළිගත් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන නිව්ස් 24  වාර්තාකරු අතුල බණ්ඩාර කියා සිටියේ ජනතාව ඉතාමත් උනන්දුවෙන් අවුරුදු සමරණ ආකාරයක් දක්නා ලැබුණු බවයි.එසේම අද අලුයම කාලයේ සිටම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැද පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ගෙන් පිරී පැවැති බවද ඔහු කියා සිටියා.
උදෑසන යෙදුණු සුබ නැකතට අනුව සිංහල ජනතාව සහ දමිළ ජනතාව නැකතට අනුව කිරිබත් පිළියෙළ කර එකට එක්ව අවුරුදු සමරණ ආකාරයක් දක්නට ලැබුණු බවයි නුවරඑළිය සහ වතුකරයේ ජනතාවගේ අවුරුදු අසිරිය සම්බන්ධයෙන් තොරතුරු ගෙන ආ නිව්ස්24 හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ කියා සිටියේ.


 

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි  [04/14/2018 - 09:42]

 

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පූර්ව භාග 8.13 ට යෙදුන සුභ මොහොතින් උදාවුණා. සමස්ත ශ්‍රී ලාංකිකයින් අවුරුදු උදාව  පිළිගනිමිනු ලැබුවේ ඉතා උත්කර්ෂවත් ලෙසයි.

මේ අතර අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද පූර්ව භාග 1. 49ට ආරම්භ වූ අතර මේ වන විට දිවයින පුරා පිහිටි ආගමික ස්ථානවලට සැදැහැවතුන් එක් රැස්ව සිටින බවයි නිව්ස් 24 වාර්තාකරුවන් සඳහන් කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news