යහපාලන රජයේ ඉදිරි කටයුතු සඳහා කමිටුවක් - තවත් විශේෂ සාකච්ඡාවක් අද

 02/14/2018 - 09:32
127 reads

යහපාලන රජයේ ඉදිරි කටයුතු සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවති මෙම සාකච්ඡාව සඳහා කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ තවත් මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබුණේ වත්මන් යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමටයි.

කෙසේ වෙතත් අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් විය හැකි බවට ද එහිදී තීරණය කළ බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරුව මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ දැනුම්දීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනාධිපති නිල නිවසට ඊයේ රාත්‍රියේ පැමිණියා.

ඒ අනුව එහිදී රජයේ ඉදිරි කටයුතු සඳහා කමිටුවක් පත් කිරීමට තීරණය වූ බවයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

ඒ අනුව එම කමිටුව පත් කිරිමේ කටයුතු අද දින පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ගනු ඇති.

එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙන්ම එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් එක්වීමට නියමිතයි.

කෙසේ වෙතත් ඊයේ දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පසුපෙල මන්ත්‍රීවරුන් අතර පැවති හමුවේදී එක්සත් ජාතික පක්ෂය තනිව ආණ්ඩුවක් පිහිටුවන බවට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

තනිව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ගනු ලැබූ තීරණය අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍ය ධූර රැසක් වෙනස්වන බවට ද වාර්තා වුණා.

ඒ අනුව දැනට ප්‍රබල අමාත්‍ය ධූර දරණ වයෝවෘද්ධ පිරිසකගෙන් ඒවා ඉවත් කොට ජනප්‍රිය තරුණ මන්ත්‍රීවරුන් වෙත ලබා දීමට සූදානම් බවයි වාර්තා වුණේ.

තනිව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මූලික යෝජනාව වුණේ එම කැබිනට් සංශෝධනයයි.

එමෙන්ම මේ දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් යටතේ පැවති අමාත්‍ය ධූර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට ද යෝජනා කර තිබුණා.

පසුගිය සමයේ තමන්ට ලැබී තිබූ අමාත්‍ය ධූරවලින් රටට හෝ එක්සත් ජාතික පාක්ෂිකයාට සේවය කිරීමට නොහැකි වූ බවට ද නැගී තිබූ මැසිවිලි අද පැවති පසුපෙල මන්ත්‍රී සාකච්ඡාවේදී විවාදයට ගෙන තිබූ බව සඳහන්.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දරණ ආණ්ඩුවක කොටස්කරුවන් වීමට බලාපොරොත්තුවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

එම තීරණය තමන් වෙත ද ලැබී ඇති බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා  ඊයේ දින සඳහන් කළා.

news24.lk
News24
sri lanka news 24
24 news