ප්‍රකාශිත ඡන්දවලින් බහුතරය පොහොට්ටුවට - ප්‍රතිශතය 45% පනී

 02/11/2018 - 11:58
96 reads

මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව වැඩි පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව සිටිනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ සහ හික්කඩුව නගර සභා දෙක මෙන්ම රත්ගම, බෙන්තොට, බලපිටිය, වැලිවිටිය - දිවිතුර, නෙලු‍ව, කරන්දෙණිය, බෝපේ - පෝද්දල, හබරාදූව සහ අම්බලන්ගොඩ යන ප්‍රාදේශීය සභාවල බලය ද තහවුරු කරගැනීමට එම පෙරමුණ සමත්වීම විශේෂත්වයක්.

මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, වැල්ලවාය, කතරගම, බිබිල, බඩල්කුඹුර, තණමල්විල, මඩුල්ල, සියඹලාණ්ඩුව සහ මොණරාගල යන ප්‍රාදේශීය සභාවල බලය ද හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, පිටබැද්දර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය සභාවල මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, හොරණ, බණ්ඩාරගම, පාලින්දනුවර සහ දොඩංගොඩ යන ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කිරීමට ද සමත් ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාව සහ ලු‍ණුගම්වෙහෙර, අම්බලන්තොට, සූරියවැව සහ තංගල්ල ප්‍රාදේශීය සභාවල මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගර සභාවේ බලය ද හිමිවුණේ එම පෙරමුණටයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දෙකැටිය සහ ඌව පරණගම ප්‍රාදේශීය සභාවල ද බලය තහවුරු කරගැනීමට ඔවුන් සමත් වුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගර සභාව සහ පදියතලාව හා දමන යන ප්‍රාදේශීය සභා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරනු ලැබුවා.

ප්‍රකාශයට පත් කර ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය ප්‍රාදේශීය සභාව, මන්නාරම - මුසලි ප්‍රාදේශීය සභාව අම්පාර දිස්ත්‍රික්කයේ අඞ්ඩාලච්චේන, ඉරක්කාමම් හා පොතුවිල් ප්‍රාදේශීය සභා, හම්බන්තොට මහ නගර සභාව, බදුල්ල මහ නගර සභාව සහ කළුතර නගර සභාව ජයග්‍රහණය කර තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගර සභාව සහ බදුල්ල ප්‍රාදේශීය සභාව මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය සභාව සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි නගර සභාව ජයග්‍රහණය කර තිබෙනවා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news