2018 පුංචි ඡන්දය ඇරඹෙයි

 02/10/2018 - 08:49
45 reads

පළාත් පාලන ඡන්ද විමසීම අද පෙරවරු 7ට ආරම්භ කෙරුණ. ඒ, දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13, 374 කදීයි.
මෙවර පළාත් පාලන මැතිවරණය වඩාත් උද්යෝගිමත් මැතිවරණයක් බවට පත් වුණේ නිරායාසයෙන්මයි.
ඊට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ නිල කාලය අවසන් වී බොහෝ කාලයක් ද ඉක්ම යාමෙන් අනතුරුව මෙම මැතිවරණය ප්‍රකාශයට පත් වීමයි.
දෙවැන්න සමගි ආණ්ඩුව 2015 අගෝස්තු මස 17 වනදා පැවැත්වූ මහ මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය උරගා බැලෙන අවස්ථාවක් ලෙස ද මෙම මැතිවරණය පත්ව තිබීමයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයේ නිරත වී සිටි කණ්ඩායමක් පොදු ජන පෙරමුණ ලෙස වෙනම තරග කිරීමට ගත් තීණ්දුව ද මෙම පළාත් පාලන මැතිවරණය වඩා් උණුසුම් කිරීමට තවත් හේතුවක් වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙන වෙනම සිය දේශපාලන නායත්වය යටතේ මෙම මැතිවරණය මෙහෙයවීම ද මෙහි උද්යෝගිමත් බව නිරායාසයෙන් වැඩිවීමට තවත් ප්‍රභල හේතුවක් වී තිබෙනවා.
මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ නව සීමා නිර්ණ වාර්තාවට අනුකූලව මැතිවරණ කොට්ඨාස බෙදා වෙන් කිරීමෙන්.
සමානුපාතික ක්‍රමය සහ මිශ්‍ර ක්‍රමය කැටි කර ගත් නව මැතිවරණ ක්‍රමය යටතේ පවත්වන ප්‍රථම මැතිවරණය ද මෙයයි.
එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කෙරුණු ස්වාධීන කොමිසන් සභා අතර මැතිවරණ කොමිසම පූර්ණ බලතල සහිතව පවත්වන ප්‍රථම මැතිවරණය ද මෙයයි.
නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතන 341 ක් ගැසට් කර තිබෙනවා.
ඊට මහ නගර සභා 24 ක්, නගර සභා 41 ක් සහ ප්‍රාදේශීය සභා 276 ක් ඇතුළත්.
නව සීමා නිර්ණය සහ මැතිවරණ කොට්ඨාස අනුව නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා 341 ක් තිබුණ ද මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ සභා 340 ක් වෙනුවෙන් පමණටි.
ඊට හේතුව ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය අද පැවැත්වෙන්නේ නැහැ.
අදාළ ප්‍රාදේශිය සභාව සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක් හේතුවෙන් එහි මැතිවරණය පැවැත්වීම අධිකරණය විසින් කල් දමා තිබෙනවා.
කළින් පැවති ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව පුරා පැවතුනේ පළාත් පාලන ආයතන 336 ක් පමණයි.
මෙවර නව සීමා නිර්ණයත් සමග එම සංඛ්‍යාව ආයතන 5 කින් වැඩිවුණා.
ඊට මහ නගර සභාවක් සහ ප්‍රාදේශීය සභා 4 ක් ඇතුළත්.
ඒ අනුව තමන්කඩුව ප්‍රාදේශීය සභාව පොලොන්නරුව මහ නගර සභාව ලෙස උසස් කිරීම එම නව මහ නගර සභාව බිහිවීම ලෙස හදුන්වා දිය හැකියි.
නුවර එළිය ප්‍රාදේශය සභා බල ප්‍රදේශයට අයත් නෝවුඞ් සහ මස්කෙළිය යනුවෙන් නව ප්‍රාදේශිය සභා 2ක් මෙවර මැතිවරණයට ඇතුළත්.
වැඩිවූ අනෙක් ප්‍රාදේශ සභා දෙක වන්නේ අඹගමුව, ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් ආගරපතන සහ කොටගලයි.
කොට්ඨාස ක්‍රමය, සමානුපාතික ක්‍රමය සහ මිශ්‍ර ක්‍රමය බද්ධව පවත්වන මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් සංඛයාව 57, 219ක්.
ඉන් තෝරා ගැනෙන්නේ සභිකයින් 8,356 ක් පමණයි.
මීට පෙර ක්‍රමය යටතේ පළාත් පාලන ආයතන 336 වෙනුවෙන් සභිකයින් සිටියේ 4, 486 ක්.
ආයතන ගණන 5 කින් පමණක් වැඩි වුවත් සභිකයින් ගණන මෙවර 8, 356ක් දක්වා වැඩිවී තිබෙන්නේ කේවල සහ මිශ්‍ර ක්‍රම යටතේ සභිකයින් තෝරා ගැනෙන නිසායි.
සභිකයින් ගණන වැඩිවීම ඔවුන් නඩත්තුවට වැඩි මුදලක් දැරීමට වර්තමාන ආන්ඩුවටත් අනාගත ආණ්ඩුවලටත් සිදුවනු ඇති නමුත් එකිනෙකා පරයා පැවති මනාප දේශපාලනයට තිත තැබීමට නව ක්‍රමය යටතේ හැකිවීම  රටේ දියුණුවේ ලක්ෂණයක් බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා.
නව මැතිවරණ ක්‍රමය තුළ හඳුන්වාදී ඇති තවත් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ කාන්තා නියෝජනය සියයට 25 ක් දක්වා අනිවාර්ය ලෙස වැඩි කිරීමයි.
අපේක්ෂක ලැයිස්තු තුළට සියයට 25 ක කාන්තා අපේක්ෂිකාවන් ඇතුළත් කළ යුතු අතර සෑම සබාවක් තුළම සියයට 25 කාන්තා නියෝජනය අනිවාර්යය වනවා.
යම් ආකාරයකින් මහ ජන ඡන්දයෙන් තේරී පත්වන කාන්තාවන් ගණන සියයට 25ට වඩා අඩු වුවහොත් දේශපාලන පක්ෂ විසින් නම් කළ යුතු සභිකයින් අතරට අනිවාර්යයෙන්ම කාන්තාවන් නම් කළ යුතු වනවා.
තේරී පත්වීමට නියමිත සභිකයින් 8,356 අතුරින් 5,019 ක් මහ ජන ඡන්දයෙන් පළාත් පාලන ආයතනවලට තේරී පත්වන අතර ඉතිරි 3,337 ක් වන අය ලැයිස්තුවෙන් පත් කිරීම සිදු වනවා.
එම ලැයිස්තු මැතිවරණයට පෙර සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ යුතුයි.
පෙරවරු 7ට ආරම්භ වන ඡන්ද විමසීම සවස 4ට අවසන් වීමට නියමිතයි.
ඡන්ද පොලේදීම ඡන්දය ගණන් කිරීම මෙවර මැතිවරණයේ තවත් විශේෂ ලක්ෂණයක් වනවා.
එසේ ගණන් කිරීමට අපහසු ස්ථාන වෙතොත් ඒවා පමණක් දිස්ත්‍රික්කයේ තෝරා ගත් පොදු එක් ස්ථානයකදී ගණන් කිරීම සිදු කෙරෙනු ඇති.
ඡන්දය ලබා දීම සඳහා එක් කෝටි පනස් හත් ලක්ෂ හැට දහස් අටසිය හැට හත් දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
සියලුම දේශපාලන ව්‍යාපාර සඳහා අත්‍යාවශ්‍ය වී තිබෙන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමයි.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ පළාත් පාලන මැතිවරණයන් හි ඡන්දය භාවිත කෙරෙන ප්‍රතිශතය ඉතාමත් අඩු මට්ටමක පවතිනවා.
නමුත් රට තුළ මතුවී තිබෙන දේශපාලන වාතාවරණය සහ මේ මොහොතේ වඩාත් බලවත් කවුරුන්ද යන්න තීරණය කෙරෙන නිසා සියලු දේශපාලන ව්‍යාපාරයන් මෙවර පළාත් පාලන මැතිවරණය කෙරෙහි දක්වන්නේ ඉතාමත් ඉහළ උනන්දුවක්.
අද උදෑසන 7 සිට මැතිවරණයට අදාළ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට නිව්ස් 24 කණ්ඩායම සූදානම්.
නිව්ස් 24 මැතිවරණ විකාශන මැදිරිය රට පුරා සියලු ප්‍රාදේශිය වාර්තාකරුවන්ගෙන් සහ දිස්ත්‍රික් සහකාර තේරීම්භාර නිලධාරීවරුන් හරහා සම්බන්ධ වෙමින් නිරතුරු තොරතුරු සත්‍යයෙන් ඔබ වෙත වාර්තා කිරීමට මේ වන විටත් ඉතා කාර්යශ්‍රීලීව සූදානමින් සිටිනවා.
සවස 4ට ඡන්ද විමසීමේ කටයුතු අවසන් වූ මොහොතේ සිට විශේෂ මැතිවරණ ප්‍රවෘත්ති සමග එක්වීමට ශ්‍රාවක ඔබට  හැකියි.
පසුගිය 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සහ 2015 මහ මැතිවරණයේ ප්‍රතිඵල සමග සංසන්ධනය කරමින් මෙවර පළාත් පාලන මැතිවරණයේ තොරතුරු වාර්තා කරන්නට අප සූදානම්.
සෑම තත්ත්පරයකදීම අලුත්වන ඡන්ද ප්‍රතිශතයන් සහ ඒ මොහොත වන විට ප්‍රකාශිත ඡන්ද වලින් ඒ ඒ දේශපාලන කණ්ඩායම් ලබා ගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාවන් විධිමත්ව ප්‍රස්ථාරගතව දැක බලා ගැනීමේ අවස්ථාව news24.lk අපගේ වෙබ් අඩවිය හරහා  ඔබට හිමියි.
හමුවෙමු නිදහස් හා සාධාරණ සාමකාමී මැතිවරණයක නිරන්තර තොරතුරු වාර්තාකරණය සමගින්.

හැටන් ඡන්ද උනන්දුව

වවුනියාවේ ඡන්ද උනන්දුව

ඡායාරූප - රංජිත් රාජපක්ෂ - හැටන් සහ මාධව කුලසූරිය - වවුනියාව 

news24.lk
News24
sri lanka news 24
24 news