ඡන්ද දායකයින්ට අවශ්‍ය සියලු පහසුකම් සලසාදී ඇති බව මහින්ද දේශප්‍රිය කියයි

 02/09/2018 - 20:37
10 reads

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ කටයුතු සඳහා ඡන්ද දායකයින්ට අවශ්‍ය සියලු පහසුකම් සළසා දී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඒ අනුව සියලු ඡන්ද දායකයින් වලංගු හැදුනුම්පතක් රැගෙන උදෑසනින්ම ඡන්ද පොල වෙත පැමිණ සිය ඡන්ද ප්‍රකාශ කරන ලෙසටයි සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඡන්දය දීමට යන විටදී ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිසන් සභාවෙන් නිකුත් කර ඇති විශේෂ එසේත් නැත්නම් තාවකාලික හැඳුනුම්පත රැගෙන යාම අත්‍යවශ්‍යයය. එම හැඳුනුම්පත්වලට අමතරව විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය පූජක උතුමානන් වෙත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුව වෙත නිකුත් කර ඇති හැඳුනුම්පත වලංගු හැඳුනුම්පත ලෙස සලකනු ලැබේ. මෙහි සඳහන් කළ හැඳුනුම්පත් හත හැර කිසිදු ලියවිල්ලක් හෝ සහතික කළ ඡායාරූපයක් හෝ කුවිතාන්සියක් හෝ වලංගු හැඳුනුම්පතක් සේ සලකනු නොලැබේ.

ඡන්දය භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කළ මහින්ද දේශප්‍රිය මහතා.

ඡන්ද පොලේදී එක් ඡන්ද දායකයකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කරනු ලැබේ. මෙම ඡන්ද පත්‍රිකාවල සඳහන් වන්නේ තරග කරනු ලබන දේශපාලන පක්ෂවල ස්වාධීන කණ්ඩායම්වල නම් සහ ඒ ඒ පක්ෂවල සලකුණු පමණි. මෙම ඡන්ද පත්‍රිකාවල අපේක්ෂකයන්ගේ නම් කොට්ඨාසවල නම් හෝ අංක කිසිවක් සඳහන් නොවේ. ඡන්දය දීමේදී ඔබ කැමති පක්ෂයේ ඔබ කැමති ස්වාධීන කණ්ඩායමේ නම සඳහන් තීරුවේ එකී පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ඡන්ද සලකුණට දකුණු පසින් ඇති හිස් ඉඩ කොටසේ එකම එක කතිරයක් සලකුණු කිරීමෙන් පමණක් ඔබේ ඡන්දය දිය යුතුය.

මේ අතර, ඡන්ද දායකයාගේ ඡන්දය ආරක්ෂා කිරීමේ වගකීම තහවුරු කර ඇති බව ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා.

ඔබේ ඡන්දයේ රහස්‍යභාවය සුරැකීමට මැතිවරණ කොමිසන් සභාව බැඳී සිටියි. ඔබ ඡන්දය දිය යුත්තේ කුමන පක්ෂයටද කුමන කණ්ඩායමටද යන්න සඳහා බලපෑම් කිරීම සඳහා කිසිවෙකුටත් අයිතියක් නැත. ඡන්ද විමසන අවස්ථාවේදී ඡන්දය ගණන් කරන අවස්ථාවේදී සහ ඡන්ද විමසීමෙන් පසුව වුවද සියලුම ආරක්ෂව සැපයීම පොලිසිය සහ හමුදාව වෙත පැවරී තිබේ. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එකී ආරක්ෂාව නොඅඩුව සපයනු ඇත. නොබියව ඔබේ ඡන්ද අයිතිය ඔබේ බලය, ඔබේ හඬ භාවිත කිරීම සඳහා ඡන්ද පොලට යන්න. ඔබේ ඡන්දය දියයුත්තේ ඔබගේ අදහස්වලට අනුකූලව මිසක වෙනත් කිසිවකුවිසින් දෙනු ලබන මූල්‍ය හෝ වෙනත් ද්‍රව්‍ය ආධාර මත නොවෙයි.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ මැතිවරණ කොමිසමේ සභාපති.

ඒ ඒ සභාවේ සම්සත ප්‍රතිඵලය මැතිවරණ කොමිසන් සභාව වෙත වාර්තා කරනු ලැබෙනු ඇති අතර එහි නිරවද්‍යතාවය මැතිවරණ කොමිසන් සභාව විසින් සනාථ කිරීමෙන් පසුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් එකී ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කෙරේ. එසැණින්ම මැතිවරණ කොමිසන් සභාව විසින් එම ප්‍රතිඵලය ජනමාධ්‍ය වෙත නිකුත් කරනු ලබනු ඇත. අනුමත නොකරන ලද හෙවත් නිල නොවන ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ මාධ්‍ය හරහා හෝ ප්‍රකාශ  කිරීමෙන් වැලකී සිටින ලෙස මැතිවරණ කොමිසන් සභාව ඉතා ඕනෑකමින් සහ කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news