මාරවිල ඉඩමක පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

 02/08/2018 - 10:37
8 reads

මාරවිල - කදුරුගස්හන්දිය ප්‍රදේශයේ ඉඩමක් තුළ පිහිටි නිවසක පවත්වා ගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍යනාශක ඒකකය ඊයේ (7) සමත්ව තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ එම ස්ථානයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අයෙකු මාරවිල - කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරු මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

එම ස්ථානයේ තිබී ගෝඩා ඩ්‍රෑම්ස් 30,240 ක් අඩංගු බැරල් 16 ක්, කසිප්පු ඩ්‍රෑම්ස් 21,068 ක් අඩංගු ප්ලාස්ටික් කෑන් 06 ක්, තඹ දඟර 02 ක්, ගෑස් ලිප් 02 ක්, ගෑස් සිලින්ඩර 02 ක්, සීනි කිලෝ ග්‍රෑම් 600 ක්, ඇමෝනියා කිලෝ ග්‍රෑම් 20 ක්ද වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.

එසේම සැකකරුවන් පාවිච්චි කළ බව කියන ත්‍රීරෝද රථයක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා. විමර්ශනවලදී අනාවරණ වී ඇතතේ මෙහි නිෂ්පාදනය කරනු ලබන නීති විරෝධී මත්ද්‍රව්‍ය කොළඹ ඇතුළු පිටස්තර ප්‍රදේශවලට අලෙවි කර ඇති බවයි.

සැකකරුවන් හා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබී තම බාරයට ගත් නීති විරෝධී මත්පැන් සහ ඒවා නිෂ්පාදනය කිරීමට ගන්නා දෑ මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා මාරවිල පොලීසියට බාර දී ඇති බවයි හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය පවසන්නේ.

.

ඡායාරූප - ජූඩ් සමන්ත - පුත්තලම

 

news24.lk
News24
sri lanka news 24
24 news