දඹුල්ල ආර්ථිකයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළු වූ අයෙක් කළ දෙයක් CCTV කැමරාවල සටහන් වෙයි

 01/12/2018 - 16:37
13 reads

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුගේ දඹුල්ල මිරිස්ගෝනියාව  ප්‍රදේශයේ පිහිටි නිවසකට ඇතුළු වී නිවසේ කාමරයක  තිබුණු  රුපියල් ලක්ෂ 5ක රන් භාණ්ඩ සහ මුදලින් රුපියල් ලක්ෂ 5ක්   සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 11 වනදා දහවල් උදේ 11.30 සිට 12 .15 වනතුරු මෙම පුද්ගලයා නිවසට ඇතුළු වී මෙම මුදල් හා රන් භාණ්ඩ කොල්ල කාගෙන යන ආකාරය නිවසේ සවි කර තිබූ සීසී ටීවී ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූ බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.

නිවසට ඇතුළුව වී මෙම සොරාගැනීම සිදු කරන්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවයි දඹුල්ල පොලිසිය පවසන්නේ.

මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු වූ ප්‍රියන්ත සේනක බණ්ඩාර මහතාගේ නිවසේ තිබූ මුදල් හා රන් භාණ්ඩ යි.

සේනක මහතා කියා සිටියේ තමන් සහ පවුලේ පිරිස හදිසි අවමඟුල් උත්සවයකට සහභාගි වී රාත්‍රී කාලයේ නිවසට පැමිණ සොයා බැලීමේදී සොරකම සිදුව ඇති බව දැනගැනීමට ලැබුණු බවයි.

අදාල සැකකරු ප්‍රධාන මාර්ගයෙන් පැමිණ මද වේලාවක් ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට රැඳී සිටිමින් නැවතත් අවට පරීක්ෂා කොට ප්‍රධාන ගේට්ටුව පසුකොට නිවසේ පිටුපස දැලෙන් ගෙවත්තට ඇතුළු වන ආකාරය තම නිවසේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව ඇති බවයි ඔහු කියා සිටියේ. පසුව නිවස පිටුපස ඇති ගබඩා කාමරය විවෘත කොට එහි තිබූ අලවංගු හා ආයුධ ලබාගෙන නිවසේ පිටුපස දොර කඩා සැකකරු නිවසට ඇතුළු වී ඇති බවයි සේනක මහතා පවසන්නේ.

විනාඩි 27 ක පමණ කාලයක් නිවස තුළ රැඳී සිටින සැකකරු නිවසේ සෑම කාමරයක්ම අවුස්සා, අල්මාරි කඩා බිඳ දමා ඒවායේ තිබූ ජංගම දුරකථන, මුදල් රුපියල් ලක්ෂ 5ක් මෙන්ම රුපියල් ලක්ෂ 5කට අධික රන් භාණ්ඩ නිවසේම තිබූ බෑගයක දමාගෙන නිවසෙන් පිටව යන ආකාරය නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබෙනවා.

හුරුපුරුදු පුද්ගලයෙකු ලෙස නිවසට ඇතුළුවන සැකකරු කිසිම දිනක නොදුටු අයෙකු බවයි සේනක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

අදාළ ආරක්ෂිත කැමරා දත්ත උපයෝගී කරගෙන සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි දඹුල්ල පොලිසිය විශ්වාසය පළ කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියේ අපරාධ අංශයේ හා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරුන්ගේ ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කරනු ලබනවා.

 

 

ඡායාරූප - කාංචන කුමාර - දඹුල්ල

news24.lk
News24
sri lanka news 24
24 news