ජනපති ධුර කාලය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලේ තීරණය 14 දා ජනපතිට

 01/11/2018 - 20:15
6 reads

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වසර හයක කාලයක් ධුරයේ කටයුතු කළ හැකිය යන්න තම මතය බවට නීතිපතිවරයා පවසා ඇතැයි වාර්තා වනවා.

නීතිපති ජයන්ත ජයසූරිය එම අදහස ඉදිරිපත් කළේ, ජනාධිපතිවරයා සිය නිල කාලය අවසන් වන නිශ්චිත කාල සීමාව පිළිබඳව විමසමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර ඇති ඉල්ලීම අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද සළකා බැලූ අවස්ථාවේදීයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල කාලය 19 වන සංශෝධනය සම්මත කිරීමට පෙර ආරම්භ කර ඇති හෙයින් එම සංශෝධනයේ සඳහන් වන පරිදි ජනාධිපතිවරයාගේ ධූරකාලය වසර පහකට සීමා කරනු ලැබීම ඔහුට බල නොපාන බව නීතිපතිවරයාගේ අදහසයි.

ජනතාව වසර හයකට පත් කළ ජනාධිපතිවරයකුගේ ධූර කාලය අඩු කිරීම ජනතාවගේ ඡන්ද බලය හා පරමාධිපත්‍යයට බලපාන කරුණක් වන හෙයින් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයට අමතරව ජනමත විචාරණයක් මගින් ජනතා කැමැත්ත ද අවශ්‍ය කරන බව නීතිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ලබන 14 වන දා හෝ ඊට පෙර ජනාධිපතිවරයාට දැනුම් දීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Maithripala Sirisena