රට රැකියාවට ගොස් වැටුප් රහිතව සිටි 123ක් 2017දී දිවයිනට ගෙන්වූවා

 01/10/2018 - 14:07
2 reads

විදේශ රැකියාවන් සඳහා ගොස් වසර ගණනාවක් කිසිදු වැටුපක් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 123 දෙනෙකු පසුගිය වසර තුළදී මෙරටට ගෙන්වා ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එමෙන්ම ඔවුන්ට රුපියල් පන් කෝටි අසූ හතර ලක්ෂ පනස් පන් දහස් හයසිය අසූ තුනක මුදලක් හිග වැටුප් වශයෙන් ලබා දී ඇති බව සඳහන්.
ඉන් සේවකයින් 110 දෙනෙකුම සෞදි අරාබියේ සේවය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව විදේශ රැකියාවල නිරතව සිටින අතරතුරදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ තානාපති කාර්යාල වල රැදී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2390 දෙනෙකු පසුගිය වසර තුළ දිවයිනට ගෙන්වා දෙන තිබෙනවා.
ඉන් වැඩිම ප්‍රමාණයක් දිවයිනට පැමිණ ඇත්තේ කුවේට් තානාපති කාර්යාලයේ පිහිටි සුරක්ෂා නිවාසයෙන් වීම විශේෂයක්.
2018 වර්ෂයේ මේ වන විට සුරක්ෂා නිවාසවල ශ්‍රමිකයින් 250 දෙනෙකු රැදී සිටින බව සඳහන්.
2017 වර්ෂය තුළදී විදේශ ගතව ඇති ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 12,216 ක් වන අතර ඉන් එක් ලක්ෂ 39, 274ක් පිරිමි ශ්‍රමිකයින් වනවා.
මේ අතරින් වැඩිම පිරිසක් පිටව ගොස් ඇත්තේ කටාර් රාජ්‍යටයි.
සෞදි අරාබිය, කුවේට් රාජ්‍යය, ඩුබායි රාජ්‍යය, දකුණු කොරියාව වැනි රටවල් වලට ශ්‍රමිකයින් වැඩි පිරිසක් පිටත්ව ගොස් ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news