"සාළිස් වසරක මහවැලි අසිරිය" ජාතික මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 01/08/2018 - 17:51
7 reads

දශක 04කට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වන 'මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය' අද පෙරවරුවේ  ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්.

මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් ජලාශය වන මොරගහකන්ද ජලාශ ව්‍යපෘතිය ජනතා අයිතියට පත් කිරීමත් සමඟ මීට දශක 04කට පෙර අද වැනි දිනක පොල්ගොල්ලෙන් ආරම්භ කළ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සමාප්තිය ද සනිටුහන් කෙරෙනවා.

මහවැලි මුල් ව්‍යාපාරය ලෙස පොල්ගොල්ල බෝවතැන්න හැරවුමේ ඉදිකිරීම් කටයුතු එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි ඩඞ්ලි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1970 වසරේ පෙබවාරි මස 28 වන දින ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව එය 1976 වසරේ ජනවාරි මස 08 වනදා හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙනුයි නිල වශයෙන් විවෘත කෙරුණේ.

 2007 වසරේ ජනවාරි මස 25 වන දින වැඩ ආරම්භ කෙරුණු මොරගහකන්ද ව්‍යාපෘතිය විවිධ හේතූන් මත ප්‍රමාද වූ අතර පසුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික උනන්දුව හා කැපවීම මත යළි සක්‍රිය කෙරුණා.

අක්කර ලක්ෂ 03ක් අළුතින් අස්වද්දා පුද්ගලයින් ලක්ෂ 15කට සෙත සලසන සහ පුද්ගලයින් ලක්ෂ 03කට පිරිසිදු පානීය ජලය සපයන මොරගහකන්ද කළු ගඟ බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය මෑත යුගයේ ඉදිවූ සුවිශේෂි ව්‍යාපෘතියක් වීම විශේෂත්වයක්.

නකලස් කඳු නිම්නයේ සිට අඹන්ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර තිබෙනවා.

එහි තවත් එක් විශේෂත්වයක් වන්නේ මොරගහකන්ද යාබදින් ගලා බසින කළු ගඟ හරස්කර  ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට එක්වීමයි.

ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ 60,000ක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් 06 ගුණයක්.

මෙම ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල කුඩා සහ විශාල ප්‍රමාණයේ වැව් 2000කට අළුතින් දියවර සැපයෙනවා.

මෙරට දැකිය හැකි ගල් පිරවූ ප්‍රධාන වෙල්ලක්, කොන්ක්‍රිට් කරන ලද වෙල්ලක් මෙන්ම පස්වලින් සෑදු නව වේල්ලක් යන වේලී තුනකින් යුත් එකම ජලාශය  ද මොරගහකන්ද ජලාශයයි.

මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 40 වන සැමරුම් උත්සවයට ද මෛත්‍රිපාල සිරිසේන මහතා අද පස්වරුවේ එක්වුණා.

සැමරුම් උත්සවය “සාලිස් වසරක මහවැලි අසිරිය” ලෙස පොල්ගොල්ල ජලාශය අසලදී පැවැත් වු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news