අනාගතය අස්වද්දන 'මොරගහකන්ද'

 01/08/2018 - 10:32
43 reads

නකලස් කඳු මිටියාවතේ ක්‍රියාත්මක වන මොරගහකන්ද ජලාශය අපේ රටේ වර්තමාන විශ්මිත බහුකාර්යය වාරි ව්‍යාපාරය බවට සැකයක් නොමැත. මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මහවැලි ව්‍යාපාරයේ අවසන් ඉදිකිරීම ද වේ. දශක ගණනාවක් සැලසුම්වලට පමණක් සීමා වී තිබු මෙය වර්තමාන ජනාධිපතිවරයා මහවැලි සංවර්ධන අමාත්‍යධුරය දැරූ කාලයේ ආරම්භ කළේය.

මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන ජලාශ 2කි. මෙරට ඉදිවන විශාලතම බහුකාර්යය යෝජනා ක්‍රමය වන මෙහි මො‍රගහකන්ද ජලාශය අඹන්ගඟ හරස් කරමින් ඉදිකෙරෙන අතර එය වර්ග කිලෝමීටර් 29.5ක් පුරා පැතිර යයි. අක්කර අඩි 463,000ක ජලධාරිතාවයක් රඳවන ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයක් විශාලය.කළු ගඟ ජලාශය ඉඳි කෙරෙනුයේ පල්ලේගම නගරයට කිලෝමීටර් 4ක් උතුරු දෙසිනි. මෙය වර්ගකිලෝමීටර් 8.4ක වපසරියක පැතිර යයි. රැඳවිය හැකි ජලධාරිතාවය අක්කර අඩි 216,000කි. පරාක්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක විශාලත්වයක් මෙම ජලාශයට හිමි වේ.

කුඩා වැව් 31ක් ද, මෙමගින් සංවර්ධනය කෙරේ. එම ව්‍යාපෘතියේ අරමුණ වනුයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමය. ජාතික විදුලිබල පද්ධතියට එක් කරන විදුලිබල ප්‍රමාණය මෙගාවොට් 25කි. ජලාශය ඉදිකිරීමෙන් පසු නිතර ගංවතුරට යටවෙන සෝමාවතිය, මනම්පිටිය වැනි ප්‍රදේශ එම අනතුරෙන් අත්මිදෙනු ඇත.

මාතලේ, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රිකයන් හි ජනතාව බොහෝ කලක් පීඩා විඳි ජල ගැටලුව මඟ හරවන්නට මොරගහකන්ද කළුඟග සංවර්ධන ව්‍යාපෘතියට හැකියාව ඇත. පානීය ජලය ඝන මීටර දශ ලක්ෂ 28.7 සිට 92.4 දක්වා වැඩි කිරීමට ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වේ. වාරි ජලය මෙන්ම පානීය ජලය අර්බුදයකට ලක් වූ ඔවුන්ගේ පොදු ගැටලුවට විසඳුම් ලැබෙන අතර හඳුනා නොගත් වකුගඩු රෝගයටද මේ ව්‍යාපෘතියෙන් ලැබෙනු ඇත. ඊට අමතරව කළුඟග පහළ නිම්න ප්‍රදේශය හා මැදිරිගිය බිසෝපුර ප්‍රදේශයද සංවර්ධනය කරනුයේ හෙක්ටයාර් 5000ක භූමි ප්‍රමාණයක් අලුතෙන් වගා කිරීම සඳහා ය. මේ සියල්ලෙන් අතිරේක වී නිෂ්පාදනය මෙට්ට්‍රික් ‍.ටො 66,000ක් බලාපොරොත්තු වේ.

පාරිසරික සමතුලිතතාවය රැක ගැනීම හා හරිත ආවරණය වර්ධනය කිරීමද ව්‍යාපෘතිය යටතේ සිදු වන තවත් සද්කාර්යයකි. ඊට සමගාමීව ප්‍රදේශයට ආවේණික ශාක, ඖෂධ පැළෑටි රෝපණයට පියවර ගෙන තිබේ. විදේශීය හා දේශීය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙසද ප්‍රසිද්ධ මෙම ප්‍රදේශය මින්නේරිය, කවුඩුල්ල, වස්ගමුව විනෝද්‍යාන ආසන්නයේ පිහිටීම ද විශේෂත්වයකි. ව්‍යාපෘතියේ තවත් ප්‍රධාන අරමුණක් වනුයේ රැකියා උත්පාදනයයි. එහි ඉලක්කය මිනිස් දින දශ ලක්ෂ දෙකකි. වටිනාකම රු. මිලයන 770ක් පමණ වේ.

මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘතිය සඳහා අත්පත් කරගත යුතු මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 4,148කි. පුද්ගලික ඉඩම් ලෙස හෙක්ටයාර් 631ක් සහ රජයේ බදු ඉඩම් හෙක්ටයාර් 138ක්ද ඊට ඇතුළත් වේ. ඊට අමතරව අනවසර හෙක්ටයාර් 267, රජයේ වනාන්තර / කැලෑ ඉඩම් හෙක්ටයාර් 2734, අලිමංකඩ සඳහා වෙන් කළ හෙක්ටයාර් 378ක් ද ඇතුළත්ය. ජලාශ දෙකට යටවන ග්‍රාම නිලධාරී වසම් 23කට අයත් නිවාස ගණන 3,500ක් පමණ වේ.

නිවාස අහිමි වන එක් පවුල් ඒකකයක් සඳහා ගොඩ ඉඩම් අක්කර ½ සහ මඩ ඉඩම් අක්කර 1½ක් ලබා දීමට සැලසුම් කර ඇත. එපමණක් නොව සියලු යටිතල පහසුකම් ද ලබාදීමට පියවරගෙන තිබේ. ජලාශ දෙකටම අයත් ඉඩම් කට්ටි 2000කට පමණ මේ වන විටත් වන්දි මුදල් ගෙවා ඇති අතර නැවත පදිංචි කිරීම් කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ. නමුත් අනවසර පදිංචිකරුවන් සඳහා ලබා දෙනුයේ ඉදිකිරීමට අදාළ මුදල් පමණකි.

ලග්ගල - පල්ලේගම ප්‍රදේශවාසීන්ගේ ජීවිත නව ලොවකට හරවමින් ලග්ගල නව නගරය මේ යටතේ සංවර්ධනය කෙරේ. එම නගරයට රජයේ ආයතන සියල්ල ලබාදීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව මධ්‍ය මහා විද්‍යාලයක් ලබා දීමටද පියවර ගැනීම ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය උසස් කිරීමට ඉවහල් වන්නකි. එහි එක් පියවරක් ලෙස නව ගුරුවෙල ප්‍රාථමික විද්‍යාලය හඳුන්වා දිය හැකිය. මෙමගින් ගොවිජනපද දරු දැරියන්ගේ අධ්‍යාපනය ගුණාත්මක කෙරෙන අතර ප්‍රදේශයේ ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට කෝප් සිටි වෙළඳ සංකීර්ණයද ජනතා අයිතියට පත් කර තිබේ. ඊට අමතරව නව ගුරුවෙල සෞඛ්‍ය මධ්‍යස්ථානය හා තැපැල් කාර්යාලයටද ජනතාව උරුමකම් කියයි.

උසස් නාගරික ලක්ෂණ රැගත් ලග්ගල නව නගරය ඔවුන්ගේ නුවරයි. පසුගියදා නව ලග්ගල පොලිස් ස්ථානය ද මහජනතාවට විවෘත විය. ඊට සමගාමීව කර්මාන්ත පුරයක් නිර්මාණය කිරීම ද එහි එක් සැලසුමකි. එය යථාර්ථයක් වු කල ගොවිජනපද වැසියන්ගේ ආර්ථික, සමාජ පරිසරය විපර්යාසයකට ලක්වීම නිරායාසයෙන්ම සිදු වේ. ජාතික අවශ්‍යතාවයක් වන නව ජීවන උපාය උපක්‍රම හඳුන්වා දෙමින් කෘෂි කර්මාන්තය සහ කර්මාන්ත ඉදිකිරීම සඳහා යටිතල පහසුකම් ද සැපයේ.

මහවැලි අධිකාරිය මගින් පවත්වාගෙන යන ගොවිපළක් ගුරුවෙල ප්‍රදේශයේ පිහිටා ඇත. ඒ තුළින් ගොවීන්ට මාර්ගෝපදේශනය ලබා දේ. කෘෂිකාර්මික සංවර්ධනයට මෙය වඩාත් වැදගත් වන්නේ කෘෂි කාර්මික ප්‍රභවයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි නිසාය. ජෛව විවිධත්වය ආරක්ෂා කරමින් නැවත වන වගාව ව්‍යාපෘතිය මගින් අරඹා ඇත. ඒ සඳහා පැළ තවාන් ව්‍යාපෘතියේම කොටසක් ලෙස පවත්වාගෙන යයි.

අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා විදුලි වැට ඉඳිකිරීම හා අලි ඇතුන්ගේ ස්වභාවික හැසිරීමට බාධා නොවන අයුරින් අලි කොරිඩෝවක් නඩත්තු කිරීමට ද පියවරගෙන තිබේ. නව බලාපොරොත්තු සහිතව නව ඉඩම් හි පදිංචියට ගොස් ඇති ජනතාව වඩා දියුණු සමාජ රටාවකට අනුගත වීම දක්නට ලැබෙනකි. මෙම ව්‍යාපෘති‍යේ ප්‍රධාන අරමුණක් වනුයේ එම බලප්‍රදේශයේ ජනතාවට යහපත් හෙටක් නිර්මාණය කිරීමය. ඒ සඳහා දැනටමත් කඩිනමින් වැඩ කටයුතු සිදුවෙමින් පවතී. ජලාශය ඉඳිකර අවසන් කළ පසු ජලාශය වටා මීටර් 100ක වපසරියක් රක්ෂිත තීරුවක් වෙන් කෙරෙනුයේ ජලාශයේ හා ප්‍රදේශයේ සුන්දරත්වය රැක ගැනීමටය.

75%ක් වැඩ අවසන් කර ඇති මොරගහකන්ද ජලාශයේ ජලාශ ධාරිතාවය ඝන මීටර් මිලියන 570කි. එහි ප්‍රධාන වේල්ලට අමතරව සඳලි වේලි 2ක් ඉඳි කෙරේ. ගල්පිරවු ප්‍රධාන වේල්ල මීටර් 61.3ක් උසය. මීටර් 470ක් දිගය. සඳාලි වේල්ල අංක එක කොන්ක්‍රීට් යොදවා නිම කරයි. එහි උස මීටර් 58ක් වන අතර දිග මීටර් 375ක් වේ. පස්වලින් නිමවන සඳැලි වේලි අංක දෙකහි උස මීටර් 21.5ක් වේ. දිග මීටර් 275කි. මේ සඳහා චීන සංවර්ධන බැංකුව ඇ.ඩො.මි 214.46ක් වැය කරන අතර දේශීය අරමුදල් වශයෙන් ඇ.ඩො.මි. 37.85ක් වැය කරයි.

කළුගඟ ජලාශයේ ජල ධාරිතාවය වනුයේ ඝන මීටර් මිලියන 248කි. ගල් පිරවු ප්‍රධාන වේල්ලේ උස මීටර් 68කි. දිග මීටර් 568කි. සඳැලි වේල්ල දිග මීටර් 719කින් යුක්ත අතර උස මීටර් 28කි.

මේ සඳහා කුවේට් සංවර්ධන අරමුදල ඇ.ඩො.මි. 33.13ක්, සෞදි ස. අරමුදල ඇ.ඩො.මි. 46ක්, ඔපෙක් ජාත්‍යන්තර අරමුදල ඇ.ඩො. මි. 16ක්, දේශීය අරමුදල ඇ.ඩො.මි. 16ක් වැය කරයි. දේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක මොරගහකන්ද ජලාශයේ සඳාලි වේලි අංක දෙක හි වැඩ කටයුතු සම්පුර්ණයෙන් අවසන් කොට ඇත. ප්‍රධාන වේල්ල සහ සඳැලි වේලි අංක 01 කඩිනමින් වැඩ අවසන් කෙරෙමින් පවතී.

කටගඟ ජලාශයේ ඉඳිකිරීම් ද සිදු කෙරෙන අතර එහි නිදන්වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය මේ මස 25 වැනි දිනට යෙදී ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිදන් තැන්පත් කිරීම සිදු කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 130,000කට පමණ ස්ථිරසාර ආර්ථික ප්‍රතිලාභ ලැබෙන අතර නැගෙනහිර උතුරුමැද, උතුරු පළාත්වලට ලැබෙන ජල පහසුකම්ද ඉහළ යයි.

- සටහන - දුමින්ද අලුත්ගෙදර-

(උපුටා ගැනීම -දිනමිණ)

news24.lk
News24
sri lanka news 24
24 news
Moragahaknda