උසස් පෙලින් පළමු තැන් ලැබුවෝ

 12/28/2017 - 07:01
1857 reads

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දිවයිනෙන් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් සිසුන්ගේ නාම ලේඛනය මේ වන විට විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජීව විදයා විෂය ධාරාවේ සිංහල මාධ්‍ය පළමු ස්ථානයට මාතර සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාරත් දෙවන ස්ථානය වෙන්නප්පුව ජෝශප් වාස් මධ්‍ය මහා විද්‍යාලයේ ජී.ඒ. හසිත ගීත් ගුණසිංහත් කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉෂාන් ශාලුක රාමනායක තෙවන ස්ථානයටත් පත්ව සිටිනවා.

භෞතීය විද්‍යා විෂය ධාරාවේ පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ යාපනය, පේදුරුතුඩුව හාර්ඩ්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් දුවාරකන් ය. දෙවන ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පමුදිත හිමාන් සෝමරත්නට හිමිව තිබෙනවා. යාපනය සාන්ත පැක්ට්‍රික් විද්‍යාලයේ රේමන්ඩ් ඩේසියස් ජෙයරාජන් පෝල් ජාන්සන් තුන් වන ස්ථානයට පත්ව සිටිනවා.
වානිජ විෂය ධාරාවේ පළමු ස්ථානය මාතර සුජාතා විද්‍යාලය හිමිකරගෙන තිබෙනවා. ඒ එස්.ඒ. දුලානි රසන්තිකා විසින්. එම අංශයේ දිවයිනේ දෙවන ස්ථානය ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි කොළඹ මියුසියස් විද්‍යාලයේ කෞෂල්‍යා සුභාෂිනි දාබරේ ලබාගෙන සිටිනවා. කොළඹ 5 ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ෆාතිමා අකීලා ඉස්වර් එම විෂය ධාරාවේ තෙවන ස්ථානයට පත්ව සිටිනවා.

රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනහි ඉගෙනුම ලැබූ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන් කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව සිටිනවා. එම අංශයේ දෙවන ස්ථානයට පත්ව සිටින්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට මුහුණදුන් කොළඹ 7 සී.එම්.එස්. බාලිකා විද්‍යාලයේ සහෙලි ආචනා වික්‍රමනායකයි. රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ දිල්කි සඳුපමා කලා අංශයෙන් දිවයිනේ තෙවන ස්ථානයට පත්ව සිටිනවා.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ පළමු ස්ථානය ලබාගැනීමට මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාරමි ප්‍රසාදි රන්සිරිනි හෙට්ටිආරච්චිද දෙවන ස්ථානය ලබා ගැනීමට මාතර, කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රගති ඉෂාන් මධුශංකද තෙවන ස්ථානය ලබා ගැනීමට නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ පසිඳු ලක්ෂාන් අධිපත්තු ද  සමත්ව සිටිනවා.

රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග මැදලගම ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ පළමු ස්ථානය හිමිකරගෙන තිබෙනවා. එම අංශයේ දෙවන ස්ථානය දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ රමේෂා ශ්‍රීමාලි සමත්ව සිටිනවා. යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ කමලේෂ්වරි සෙන්දිල්නාදන් එම අංශයේ තෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

පොදු සහ වෙනත් විෂය ධාරාව  යටතේ දිවයිනේ පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ කොළඹ 8 දේවි බාලිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංගයි. එම අංශයේ දෙවන ස්ථානය කොළඹ 7 රාජකීය විද්‍යාලයේ ශවීන් භාෂිත තිලකරත්න හිමිකරගෙන තිබෙනවා. කඳාන ද මැසනඩ් විද්‍යාලයේ දියෝල් බ්‍රැන්ඩන් ඇන්ටනී බයිනස් එම අංශයේ දිවයිනේ තෙවන ස්ථානයට පත්ව සිටිනවා.

2017 උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 2,53,483 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 1,63,104 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි විභාග දොපර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. කෙසේ වෙත්ත සිසුන් 205 දෙනෙකු ප්‍රතිඵල අත්හිටුවා ඇති බව විභාග කොමසාරිස් බී. සනත් පූජිත මහතා පවසනවා.

news24.lk
News24
sri lanka news 24
24 news