රුසියාව ශ්‍රී ලංකාවට දැමූ තේ තහනම ඉවතට

 12/25/2017 - 17:59
46 reads

රුසියාව විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ තේ තහනම දෙසැම්බර් මස 30 වනදා සිට බලපැවැත්වෙන පරිදි අත්හිටුවා තිබෙනවා.
ඒ ඊයේ දිනයේ රුසියාව බලා පිටත්ව ගොස් තිබූ මෙරට තාක්ෂණික ඇගයීම් කණ්ඩායම සහ රුසියානු බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුවයි.
පසුගිය 18 වනදා සිට ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන තේ සඳහා තාවකාලික තහනමක් පැනවීමට රුසියාව තීරණය කළා.
ඒ ශ්‍රී ලංකාවෙන් ආනයනය කළ තේ බහාලුමක තිබී කුරුමිණි විශේෂයක සුහුඹුලක් හමුවීම හේතුවෙන්.
කෙසේ වෙතත් අදාළ තේ තහනම ඉවත් කර ගැනීම පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා නිව්ස් 24 වෙත මෙලෙස සිය අදහස් පළ කළා.

විශේෂයෙන්ම රුසියාවෙන් අපේ රටට දාල තිබුණු තේ තහනම 30 වැනිදා ඉදලා දැන් අවසන් කරලා තියෙනවා. මං හිතන්නේ ඉතින් ඒක සුබ ආරංචියක්  සියලු දෙනාටම. විශේෂයෙන්ම කුඩා තේවතු හිමියන් විශාල ප්‍රමාණයක් මේ රටේ ඉන්නවා. ඔවුන්ගේ ජීවනෝපාය වෙලා තියෙන්නේ තේ ආර්ථිකය. ඉතින් අපිට විශාල බයක් තිබුණා තේ ආර්ථිකය කඩා වැටිලා අහිතකර තත්ත්වයක් ඇති වේය කියලා. මොකද රුසියාව අපේ තේවලින් සියයට 10ක 12ක දොළහක ප්‍රමාණයක් තේ අපනයනයෙන් ගන්න නිසා. අපේ තාක්ෂණික කණ්ඩායමක් ඊයේ රුසියාවට ගිහින් අද දින සාකච්ඡා කළා මේ තත්ත්වය ගැන. අපේ අයට ඒත්තු ගන්වන්න පුළුවෙන් වෙලා තියෙනවා අපේ තේවල තියෙන ගුණාත්මක බව ඒ අයුරින්ම තබා ගන්නවා කියන එක.

වැඩිදුරටත් අදහස් දැක්වූ වැවිළි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා කියා සිටියේ අප විසින් ආනයනය කරනු ලබන තේවල ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසට රුසියානු බලධාරීන් දැනුම්දී ඇති බවයි.  එහි එක් කොන්දේසියක් වන්නේ තේ ආනයනය කරනු ලබන කන්ටේනර් දුම්කරණය කිරීම සිදු කළ යුතුය යන්නයි. එම කොන්දේසි අනුව යළිත් රුසියානු වෙළෙඳ පොළට ආනයනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news