UPDATE : දුම්රිය ගැටලුවටත් ජනපති මැදිහත් වෙයි

 12/12/2017 - 13:55
133 reads

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීව සමිති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් සාකච්ඡාව සිදු කරන වේලාව පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැති බවයි දුම්රිය වෘත්තීය සමිති පැවසුවේ.

මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් දරුවන් සහ පොදු මහජනතාව පත්ව ඇති අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් සේවයට වාර්තා

කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්රිය කාර්යය මණ්ඩලවලින් ඉල්ලීමක් කරනු ලැබුවා.

ඔවුන්ගේ ගැටලු විසදා ගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදීමට සුදානම් බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා නිව්ස්24 වෙත පැවසුවේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවට අනිවාර්යෙන්ම සහභාගි වී විසඳුම් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් අද උදෑසන කාලයේදී පිට පළාත්වල සිට කාර්යාල දුම්රිය ගමන් වාර 16ක් පමණ කොළඹට පැමිණි බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මීට අමතරව යාපනය දක්වා ගමන් කරන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය ද කොළඹ කොටුවේ සිට ගමන් ආරම්භ කළ බවයි.

එමෙන්ම අද දිනය තුළ දුම්රිය ගමන් වාර 40කට අධික සංඛ්‍යාවක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළා.

මේ අතර කැළණිවැලි මාර්ගයේ අද පෙරවරුවේ ධාවනය වු දුම්රියක රියදුරු ඇතු`ඵ කාර්යය මණ්ඩලයට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සියලුම දුම්රිය ස්ථාන සහ දුම්රියවලට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි දුම්රිය සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා පැවසුවේ.


සාමාන්‍ය පෙළ දරුවන් සහ ජනතාව ගැන සිතා සේවයට එන්නැයි ජනපති දුම්රිය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරයි  [12/12/2017 - 06:36]

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් දරුවන් සහ පොදු මහජනතාව පත්ව ඇති අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්රිය කාර්යය මණ්ඩලවලින් ඉල්ලීමක් කරනවා.

ඔවුන්ගේ ගැටලු විසදා ගැනීම සඳහා ඉදිරියේ දී සාකච්ඡාවක් ලබාදීමට සුදානම් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

උසස් අධ්‍යාපනයේ කඩයිම් විභාගයකට ඉදිරිපත් වන සිසු දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස ද ජනාධිපතිවරයා දුම්රිය කාර්යය මණ්ඩලවලින් ඉල්ලීමක් කරනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මානුෂීය අවධානය යොමු කරන ලෙසයි ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news