UPDATE : සාකච්ඡා අසාර්ථකයි - දුම්රිය රියදුරු වර්ජනය තවදුරටත්

 12/07/2017 - 20:00
49 reads

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තවත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සැලසුම් කර තිබෙනවා.

දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා සඳහන් කළේ මෙම වර්ජනයට දුම්රිය නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ අධීක්‍ෂණ නිලධාරීන් එක්වීමට නියමිත බවයි.

මේ අතර, මේ වන විට දුම්රිය සහයකයින් බඳවා ගැනීමේ ගැටළුවක් මුල් කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් ද වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අද දහවල් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම් අබේවික්‍රම යන  මහත්වරුන් සහ දුම්රිය රියදුරන්ගේ වෘත්තිය සමිති සාමාජිකයින් අතර සාකච්ඡා පැවැත්වුණා.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව NEWS 24 වෙත අදහස් පළ කරමින් දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ තම ගැටළුවට නිසි විසඳුමක් ලැබෙන තුරු අඛන්ඩව වර්ජනයේ නිරත වන බවයි.

කෙසේ වෙතත්, තම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් පීඩාවට පත් වන ජනතාව වෙනුවෙන් කාර්යාලීය දුම්රිය කිහිපයක් පමණක් අද පස්වරුවේ සහ හෙට පෙරවරුවේ ධාවනය කෙරෙන බව ඉන්දික දොඩම්ගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියා.
 


තවත් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට සැරසෙයි [12/07/2017 - 17:09]

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් අද මධ්‍ය රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තවත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සැලසුම් කර තිබෙනවා.

දුම්රිය ශ්‍රේණිගත වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙම වර්ජනයට දුම්රිය නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් සහ අධීක්‍ෂණ නිලධාරීන් එක්වීමට නියමිත බවයි.

අදාළ ගැටළුව සම්බන්ධයෙන් පසුගිය දා ද මෙම එකමුතුව විසින් වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර, එය අත්හිටුවනු ලැබුවේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කෙසේ වෙතත්, එහිදි පැමිණි එකඟතාවන්ට විසඳුමක් නොමැති වීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ජානක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, මේ වන විට දුම්රිය සහයකයින් බඳවා ගැනීමේ ගැටළුවක් මුල් කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් ද වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news