දුම්රිය වර්ජනයෙන් මගී ප්‍රවාහනය අඩාලයි - බලධාරීන් විශේෂ සාකච්ඡාවක

 12/07/2017 - 13:03
9 reads

දුම්රිය වර්ජනයට විසදුම් සෙවීම සඳහා වන සාකච්ඡාවක් දැන් පැවැත්වෙනවා.
විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් වෘත්තිය සමිති සමග අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වුණේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී මහනාම අබේවික්‍රම මහතා නිව්ස් 24 වෙත පැවසුවේ සාකච්ඡාවේදී දුම්රිය සේවකයින්ගේ ඉල්ලීම් සඳහා නිසි විසඳුමක් ලබා දීමට අපේක්ෂා කරන බවයි.
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වන සිසු දරු දැරියන්ට සිදුවන අපහසුතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් වර්ජනය අත්හරින ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  මහතා දුම්රිය වෘත්තිය සමිතිවලින් මේ වන විටත් ඉල්ලීමක් ද කර තිබෙනවා.
බඳවාගැනීමේ පටිපාටියට බැහැරව දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමට විරෝධය පළ කරමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වුණා.
දුම්රිය පාලක මැදිරිය පැවසුවේ මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදානෙන් ආරම්භ වන කිසිදු දුම්රියක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ධාවනය නොවන බවයි.
කාර්යාල දුම්රිය කිහිපයක් පමණක් අද උදෑසන පිට පළාත්වල සිට කොටුව දක්වා පැමිණ තිබෙනවා.
දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික ගොඩංගොඩ මහතා නිව්ස් 24 වෙත පැවසුවේ සිය ගැටළු සඳහා විසදුම් ලබා දෙන තෙක් වර්ජනය අත් නොහරින බවයි.
මේ අතර, දුම්රිය වැඩවර්ජනයට සමගාමීව ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අතිරේක බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.
ලංගම මෙහෙයුම් අධිකාරී ආර්.ටී චන්ද්‍රසිරි මහතා නිව්ස් 24 වෙත පැවසුවේ කොළඹ කොටුවේ සිට ජනතාවගේ අවශ්‍යතාවය පරිදි මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news