ගැබ්ගෙන ඇතැයි චෝදනා කර දැරියක් පාසලෙන් ඉවත් කළ විදුහල්පතිනිය ඇතුළු පිරිසට විනය ක්‍රියාමාර්ග ගන්න

 12/07/2017 - 07:23
97 reads

ගැබ්ගෙන ඇති බවට චෝදනා කරමින් දැරියක් පාසලෙන් ඉවත් කළ කැකිරාව - මඩාටුගම ශ්‍රී රේවත මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ඊට සම්බන්ධ සියලු පාර්ශවයන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව විනය මණ්ඩලයට, අදාළ දැරියගේ පන්තිභාර ගුරුවරියට සහ උපදේශන ගුරුවරයාට ද විනය පියවර ගන්නා ලෙසටයි එම කොමිසම අදාල පාර්ශවයන්ට දැනුම්දී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව එළිදක්වමින් එම කොමිසම ප්‍රකාශ කර ඇත්තේ චූදිත පාර්ශවය මෙම සිද්ධියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ජගත් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ද උල්ලංඝනය කර ඇති බවයි.
ඒ අනුව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකාව විසින් ආයතන සංග්‍රහයට අනුව මොවුන්ට විනය පරීක්ෂණයක් සිදුකර මසක් ඇතුළත ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු බවයි කොමිසම සඳහන් කළේ.
පසුගිය ඔක්තෝම්බර් මස 03 වනදා අදාළ දැරිය වමනය කර තිබුණේ උදෑසන ආහාරය නොගෙන පාසල් පැමිණීම හේතුවෙන්.
කෙසේ වෙතත්, ගැබ්ගෙන ඇති බවට පවසමින් දැරිය පාසලෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.
පසුව විදුහල්පතිනියගේ වැඩ තහනම් කර අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කළ අතර, දැරිය අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කිරීමටයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගනු ලැබුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news