UPDATE : දුම්රිය වර්ජනය ගැන අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක්

 12/07/2017 - 10:30
47 reads

දුම්රිය වර්ජනයට විසදුම් සෙවීම සඳහා අද දහවල් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12ට අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.
ඒ සම්බන්ධයෙන් මේ වන විටත් වෘත්තීය සමිති නායකයින් දැනුවත් කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ.
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වන සිසු දරු දැරියන්ට සිදුවන අපහසුතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් වර්ජනය අත්හරින ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  මහතා දුම්රිය වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් ද කර තිබෙනවා.
මේ අතර, දුම්රිය වැඩවර්ජනයට සමගාමීව ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අතිරේක බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.
ලංගම මෙහෙයුම් අධිකාරී ආර්.ටී චන්ද්‍රසිරි මහතා නිව්ස් 24 වෙත පැවසුවේ කොළඹ කොටුවේ සිට ජනතාවගේ අවශ්‍යතාවය පරිදි මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වන බවයි.


 

දුම්රිය ධාවනය අඩාලයි [12/07/2017 - 07:16]

දුම්රිය එන්ජින් රියදුරන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය පැවසුවේ මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදානෙන් ආරම්භ වන කිසිදු දුම්රියක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ධාවනය නොවන බවයි.
පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන කාර්යාල දුම්රිය කිහිපයක් පමණක් මේ වන විට ධාවනය වන බව ද දුම්රිය පාළක මැදිරිය කියා සිටියා.
බඳවාගැනීමේ පටිපාටියට බැහැරව දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමට විරෝධය පළ කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය වැඩවර්ජනයක් ආරම්භ කළා.
එහි ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා නිව්ස් 24 වෙත අදහස් දක්වමින් කියා සිටියේ සිය ඉල්ලීම් ලබා දෙන තුරු වර්ජනය අත්නොහරින බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news