ජනපතිගේ දකුණු කොරියානු රාජ්‍ය සංචාරය හෙට

 11/27/2017 - 08:13
91 reads

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දකුණු කොරියානු සංචාරය හෙට ආරම්භ වනවා.

දකුණු කොරියානු ජනාධිපති  මුන් ජේ ඉන් (Moon Jae-In) ගේ නිල ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවීම විශේෂත්වයක්.

ජනාධිපතිවරයා ඇතුලු මෙරට දූත පිරිස පිළිගැනීම සඳහා එරට බලධාරීන් මේ වනවිට විශේෂ සූදානමකින් පසුවන බවයි දකුණු කොරියාවේ සෝල් නුවර සිටින NEWS24 විශේෂ නියෝජිත උදිතමාල් හේමචන්ද්‍ර ප්‍රකාශ කළේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  දකුණු කොරියානු සංචාරයට දින තුනක් ඇතුළත්.

දකුණු කොරියානු රජයේ ආරාධනාවක් අනුව ජනාධිපතිවරයාගේ මෙම සංචාරය රාජ්‍ය සංචාරයක් ලෙස නම් කොට තිබීම ද විශේෂත්වයක්.

නිල සංචාරයකට වඩා රාජ්‍ය සංචාරය වඩාත් වැදගත් වන්නේ රාජ්‍ය නායකයෙකු සඳහා ලබාදෙන උපරිම ගෞරවය හා රාජ්‍ය සම්ප්‍රදායන් සියයට සියයක් අනුගමනය කිරීමයි.

ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු කොරියානු රජය සුදානම් කර තිබෙනවා.

හෙට පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු ශ්‍රී ලංකා දූත කණ්ඩායම දකුණු කොරියාවට ළඟවීමට නියමිතයි.

ශ්‍රි ලංකා දකුණු කොරියානු රාජ්‍ය සම්බන්ධතාවට වසර 40ක් සපිරුණේ  මේ වසරේදී.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව දකුණු කොරියානු සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

සංචාරය තුළ දී දකුණු කොරියානු ජනාධිපතිවරයා හමුවීමට ද නියමිතව තිබෙනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් 05කට එළඹීමට කොරියානු රජය එහිදී බලාපොරොත්තු වන බවයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළ දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් හමුවක් ද යොදාගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් අති විශාල ප්‍රමාණයක් දකුණු කොරියාව තුළ රැකියාවේ නිරතවනවා.

තවදුරටත් සේවා අංශයේ රැකියා වැඩි කර ගැනීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වනු ඇති බවයි දකුණු කොරියාවේ සිටින ශ්‍රි ලාංකිකයන් මෙවර ජනාධිපතිවරයාගේ මේ සංචාරය තුළ වැඩි බලාපොරොත්තු තබා ගෙන සිටින්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news
Sri Lanka’s President Maithripala Sirisena to visit South Korea
Moon Jae-in