UPDATE: ගාල්ලේ කලහකාරී සිද්ධිය: 8කට තුවාල - 19ක් අත්අඩංගුවට - පොලිස් ඇඳිරි නීතිය ඉවතට (වීඩියෝ)

 11/18/2017 - 07:20
1396 reads

UPDATE: ගාල්ල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් කිහිපයකට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය පෙරවරු 09.00 ට ඉවත් කළ බව ගාල්ල පොලිසිය පවසනවා.

නොසන්සුන්කාරී සිද්ධියට අදාළව සැකකරුවන් 19 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

===========================================================================================================

ගාල්ල, ගිංතොට, විදානගොඩ ප්‍රදේශයේ දී ඇතිවු නොසන්සුන්කාරී තත්වය මෙම නොසන්සුන්කාරී සිද්ධියට අදාළව සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අතර , බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ද සිටින බව සදහන්.

ගාල්ල ප්‍රදේශයේ හටගත් නොසන්සුන්කාරී තත්වය පාලනය සදහා  දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව, ගිංතොට - නැගෙනහිර හා බටහිර, වැලිපිටිමෝදර, මහහපුගල, කුරුඳුවත්ත, රුක්වත්ත සහ පියඳිගම ප්‍රදේශවලට  පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා.

පොලිසිය සඳහන් කළේ ඇඳිරි නීතිය අද උදෑසන 9 දක්වා ක්‍රියාත්මක බවයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කරන්නේ ගාල්ල පොලිස් වසමේ නොසන්සුන්කාරී තත්වය පාලනයට පොලිස්පතිවරයා විසින් ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

එමෙන්ම පොලිස්පතිරයාගේ නියෝග මත පොලිස් නිලධාරීන් 200කට අධික ප්‍රමාණයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 100කට අධික ප්‍රමාණයක් ප්‍රදේශයේ රාජකාරී සඳහා යොදවා තිබෙනවා.

දින කිහිපයකට පෙර ක්‍රීඩා පිටියකදී තරුණයන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් මෙන්ම අනතුරකින් පසු ඇතිවු තත්ත්වයක් දුරදිග යාමෙන් එය දෙපිරිසක් අතර ගැටුමක් දක්වා වර්ධනය වූ බවයි ප්‍රදේශවාසින් සඳහන් කරන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ  පුද්ගලයින් අට දෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ගැටුම හේතුවෙන් නිවෙස් දෙකකට ද අලාභ හානි සිදුව ඇති බව සඳහන්.

සිද්ධිය සමථයකට පත්කිරීම සඳහා ඊයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අදාල පාර්ශවයන් සමග සාකච්ඡාවක් ද පැවැත්වුණා.

ඒ සඳහා දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරින් පිරිසක් සහ ගාල්ල, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම පාර්ලිමෙන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා ද එක්ව සිට බවයි වාර්තා වුණේ.

පවතින තත්ත්වය පාලනය  සඳහා රජයක් ලෙස ගතයුතු ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරන්නේ.

මේ අතර අනවශ්‍ය ලෙස කලබල ඇති නොකරන ලෙසත් අසත්‍ය ප්‍රචාරවලට හසු නොවන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.

(ඡායාරූප - සනත් පතිරණ)

සබැඳි පුවත්

ගාල්ල පොලිස් වසමේ ස්ථාන කිහිපයකට ඇඳිරි නීතිය

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
Police curfew imposed in parts of Galle