ශ්‍රී ලංකාව එරෙහි යුද චෝදනා ගැන ඩිමොක්‍රටික් පක්ෂය කතා කරයි

 11/15/2017 - 12:47
46 reads

ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යළිත් වරක් සිතා බැලිය යුතු බව අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ ඩිමොක්‍රටික්  පාක්ෂික සභිකයින් ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව එල්ල වී තිබෙන වද බන්ධන පැමිණවීමේ චෝදනා පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වන තෙක් මෙම පියවර ගත යුතු බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම කමිටුවේ සාමාජිකයින් ප්‍රකාශ කර තිබුණා.

යුරෝපයේ දේශපාලන රැකවරණ පතා සිටින දෙමළ ජාතිකයින් 50 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවේදී තමන් වද බන්ධන වලට ලක්වූ බවට සිදු කළ ප්‍රකාශයක් වොෂිංටන්  පෝස්ට් පුවත්පතේ පසුගියදා පළ වුණා.

ඒ අනුව අදාළ චෝදනා පිළිබඳ වැඩි සැලකිල්ලක්  යොමු කළ යුතු බව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ ඩිමොක්‍රටික්  පාක්ෂික සභිකයින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වොෂිංටන් පෝස්ට් පුවත්පතට ලිපියක්  යොමු කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ කවර හෝ වද හිංසා පැණවීමක් වුවත් රජය තරයේ හෙලා දකින බවයි.

මේ වසර තුළ චෝදනා එල්ල වූ  පොලිස් නිලධාරීන් 33 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද විදේශ අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news