පෙට්‍රල්වලට භූමිතෙල් මිශ්‍ර කිරීමේ මහා පරිමාණ ජාවාරමක් හෙළිකර ගැනේ

 11/14/2017 - 06:23
50 reads

පෙට්‍රල්වලට භූමිතෙල් මිශ්‍ර කර සමුපකාර ඉන්ධන පිරවුම්හල්වලට බෙදාහැරීමේ ජාවාරමක නිරත වී සිටි සැකකරුවන් දෙදෙනෙකු ගලේවෙල, බුලනවැව ප්‍රදේශයේදී දඹුල්ල විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ දඹුල්ල කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත කරන ලද වැටලීමේදී සැකකරුවන් සහ අදාළ උපකරණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගලේවෙල, බුලන වැව ප්‍රදේශයේ අත්හැර දමා ඇති ගල් කොරියක් ආසන්නයේදී මෙම නීති විරොධී ක්‍රියා සිදු කර ඇති බවත් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්ථානය යන විටත් පෙට්‍රල් බවුසරයට භූමිතෙල් ලීටර් 200ක් පමණ මිශ්‍ර කර තිබූ බවත් අනාවරණ කරගෙන තිබෙනවා.
කුඩා ලොරි රථයක පටවා තිබූ ලීටර් 240 බැරල් තුනකට නිලයක් ආධාරයෙන් බවුසරයෙන් පෙට්‍රල් ඉන්ධන ඉවත් කර ඒ වෙනුවට භූමිතෙල් මිශ්‍ර කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
වැටලීම සිදු කරන අවස්ථාවේදී ඉන්ධන බවුසරයෙන් පෙට්‍රල් ලීටර් 700ක් පමණ බැරල් තුනකට ඉවත් කර තිබී ඇති අතර කුඩා ලොරි රථයේම තිබූ භූමිතෙල් අඩංගු කෑන් 30ක තිබූ ලීටර් 700න් ලීටර් 200ක් පමණ ඉන්ධන බවුසරයට එක්කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පළා ගොස් ඇති අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ඉන්ධන බවුසරයේ රියදුරා සහ සහායකයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාට අමතරව ඉන්ධන බවුසරයෙන් පිටතට ගත් පෙට්‍රල් තොගය මෙන්ම කළවම් කිරිමට ගෙනැවිත් තිබූ භූමිතෙල්, භූමිතෙල් රැගෙන පැමිනි ලොරි රථය සහ ඒ සඳහා යොදාගත් බැරල්, බට ඇතුළු උපකරණද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි පරීක්ෂණ සඳහා අදාළ සැකකරුවන් සහ උපකරණ ගලේවෙල පොලිසිය වෙත භාරදෙන බවයි.
ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහන කරන මෙම බවුසර් රථය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අයත් එකක් බවට මූලික පරීක්ෂණවලදී හෙලිව තිබෙනවා. 

 

ඡායාරූප - කාංචන කුමාර - දඹුල්ල / මහින්ද උදයසිරි - දඹුල්ල

news24.lk
News24
sri lanka news 24
24 news