බියර් සඳහා දුන් සහනය ඉවත් කරන්නැයි සෞඛ්‍ය ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

 11/13/2017 - 16:22
213 reads

පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බියර් මිල අඩු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙය වැරදී පූර්වාදර්ශයක් බවයි. පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ කියා සිටියා.

"එකක් ගැන මට කනගාටුව ප්‍රකාශ කරන්න වෙලා තියෙනවා. මේ බියර්වලට දීලා තියෙන සහනය. ඒකට මට කිසිසේත්ම එකඟ වෙන්න බැහැ. මුදල් ඇමැතිවරයාට ලබාදුන්න සංඛ්‍යා ලේඛන සම්පූර්ණ වැරදියි. 49%ක් නීති විරෝධී මත්පැන් පාවිච්චි කරනවා කියන එක වැරදියි. ඒ පිළිබඳ මට තිබෙනවා දත්ත... ඒ වගේම නාටා සංවිධානය මගින් මේ සම්බන්ධයෙන් පර්යේෂණයක් ආරම්භ කරලා කරගෙන යනවා. තව ටික දවසකින් නියමම දත්ත ලැහැස්ති කරලා දෙන්න පුළුවන්. 90 දශකයේත් බියර්වල බදු අඩු කිරීමට මෙවැනිම තර්ක ගෙන ආවා. එහෙත් පොලිසිය, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගන්න සංඛ්‍යාලේඛන අනුව නීති විරෝධී මත්පැන් භාවිතය අඩු වී තිබෙනවා. එය තමයි ඇත්ත කතාව. එසේම නීති විරෝධී මත්පැන් භාවිතය, මත්පැන් භාවිත කරන පිරිසෙන් 10%යි. 49%ක් නෑ.
දෙවැනි තර්කය කියනවා වෙනත් රටවල බහුතරය බියර් භාවිත කරන්නේ කියලා කියනවා....
ඇත්ත...
යුරෝපයේ මත්පැන් භාවිතය සහ ආසියාවේ මත්පැන් භාවිතය ආකාර දෙකක්... යුරෝපයේ මත්පැන් භාවිත කරන්නේ ඔවුන්ගේ සංස්කෘතියට ගැලපෙන අයුරින්, ඔවුන්ගේ ආහාර වේලේ කොටසක් ලෙසට. එහෙත් ආසියාවේ මත්පැන් පානය කරන්නෙ සූර් එකක් ගන්න. අවුරුදු 15ට වැඩි පිරිමි 35%ක් මත්පැන් පානය කරන බවත් කාන්තාවන් 1%ක් මත්පැන් පානය කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව කළ සමීක්ෂණයකදී හෙළි වුණා. ඒ අනුව ලංකාව සමස්ත ජනගහනයෙන් 20%ක්වත් නැහැ මත්පැන් පානය කරන අය. ඉන් 6%ක්වත් වගේ පිරිසක් තමයි නීති විරෝධී මත්පැන් පානය කරන්නේ.
එම නිසා මෙම බියර් ප්‍රතිපත්තිය ගෙන ආවහොත් ළමුන්ට එයින් දැඩි බලපෑමක් එල්ල වනවා. එලෙස බියර්වලින් පටන් ගතහොත් එය ඉදිරියට ගමන් කරනව සැර මත්පැන් දක්වා.
මොඩර්න් කන්ට්‍රි එකක් සැදීමට මේවා ලිබරලයිස් කළ යුතුයි කියලා තර්කයක් ගෙන එනවා. එය පිළිගත නොහැකියි. මොකද අනිත් ඒවා ලිබර්ලයිස් කරන්න තිබුණට... මේවා මේකෙන් වන හානිය විශාලයි. මත්පැන් නිසා තමයි මාර්ග අනතුරු වැඩි වෙන්නේ. අවුරුද්දකට නව දහසක් මියයනවා හතළිස් අට දහසක් ආබාධිත තත්ත්වයට පත්වෙනවා.
එම නිසා මම මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ අයවැය ලේඛනය සම්මත කිරීමට පෙර  බියර්වලට දෙන, වයින්වලට දෙන සියල්ල ඉවත් කර ගන්න... මේක නරක පණිවුඩයක්.
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී පැහැදිළි ප්‍රකාශයක් කළා... ශ්‍රී ලංකාවේ මෑත යුගයේ මෑත යුගයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති මුළු ලෝකයේම සෞඛ්‍ය ප්‍රතිපත්ති ලෙස පිළිගන්න කියලා. එපමණක් නොව දුම්කොළ විරෝධී සම්මාන දෙකක් ජයග්‍රහණය කළා. ඒ සියල්ල කරලා අපි කිරි හැළියට ගොම හැන්දක් දාගන්න අවශ්‍ය නෑ. එම නිසා සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් පැහැදිළිව කියන්නේ මේ කිසිවකට සෞඛ්‍ය අමත්‍යවරයා ලෙස සෞඛ්‍යයට හානි කර කිසිදු දෙයකට මට එකඟ වන්න බැහැ. එම නිසා මම මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මෙම බියර් බද්ද ඉවත් කරලා මේ රටේ තරුණයන් වගේම මේ රටේ කුඩා ළමුන් මෙවැනි බීමවලට ඇබ්බැහි වීමෙන් ඔවුන් බේරා ගන්න කියලා. "

news24.lk
News24
sri lanka news 24
24 news