නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ - රාමඤ්ඤ මහ නාහිමි යළි අවධාරණය කරති

 11/12/2017 - 07:49
11 reads

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන් වහන්සේ යළි අවධාරණය කළා.

සිංහල, දෙමළ, මුස්ලිම් ආදී මෙරට සියලු ජන කොටස් සදහා සාධාරණය ඉටුවීමට නම් මේ අවස්ථාවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම උචිත නැතැයි නායක හිමිපාණන් වහන්සේ පෙන්වාදුන්නේ දෙමළ ප්‍රගතිශ්‍රීලී සන්ධානයේ නායක, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා උන්වහන්සේ  බැහැදැකීමට  ඊයේ (11) පැමිණි අවස්ථාවේදී.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද දැනුවත් කිරීම සදහා දෙසැම්බර් මස 12 වන දින කොළඹදී පැවැත්වීමට  නියමිත   සර්ව ආගමික නියෝජිත සමුළුව  සදහා ආරාධනා කිරීම නිමිත්තෙන් අමාත්‍යවරයා මහා නායක හිමියන් බැහැ දුටුවා.

පාලන බලය හිමි ප්‍රධාන පක්ෂය ද විපක්ෂය ද  මේ වන විට මත දෙකක සිටින බවත් සෙසු පක්ෂ ද එක් මතයක නොසිටින  බව අමාත්‍යවරයා හමුවේ කී නායක හිමියන්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ අවස්ථාවේ සම්මත නොකළ යුතු බව සිය නිකාය ද නිවේදනය කොට ඇතැයි පෙන්වා දුන්නා.

සර්ව ආගමික සාධාරණත්වයක් ඇති කිරීමේ දී බුදු දහමට ඇති ප්‍රමුඛතාවට යම් හෝ හානියක් නොවිය යුතු යැයි පෙන්වා දුන් උන්වහන්සේ අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක් බවට ශ්‍රී ලංකාව පත්වූ අවස්ථාවේ සිට බුදු දහමට ප්‍රමුඛ ස්ථානයක් හිමිවූ  බවයි අවධාරණය කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්නේ නම් රටේ සියලු ජනතාවට සාධාරණ විය යුතු යැයි කී උන්වහන්සේ, ආගමික වශයෙන් පමණක් නොව ජාතික, ශ්‍රාස්ත්‍රීය, සංස්කෘතික ආදී විවිධ ඉසව් ඔස්සේ ජනතාවට සාධාරණය ඉටු විය යුතු යැයි පෙන්වා දුන්නා.

සිංහල හා දෙමළ ජාතීන් අතර කිසිදු භේදයක් නොමැති බව කී නායක හිමියන්,  බුදුන් වහන්සේගේ කාලයේදී පවා දමිළ භික්ෂුන් වහන්සේ සිටි බව අපදාන පාළියෙහි සදහන්ව ඇතැයි බව පැවසුවා.

මෙරට ඇතැම් පාලකයන්ගේ ක්‍රියාවන් නිසා ජාතීන් අතර ගැටුම් මතුවුණු බවත් ඔවුන්ගේ ආත්මාර්ථකාමී පිළිවෙත් නිසා ජනතාව පීඩාවට පත්වූ බවත්  උන්වහන්සේ පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන් මෙලෙසින්ද පැවසුවා.

"... ආණ්ඩුව ඉදිරිපත් කළ අය වැය පිළිබද විවිධාකාර අදහස් පළ වෙනවා.
මෙවර අය වැයේදී භික්ෂු අධ්‍යාපනය හා පිරිවෙන් පිළිබදව කිසිදු සදහනක් තිබුණේ නැහැ.
පිරිවෙන් සදහා ලැබිය යුතු මූල්‍ය ප්‍රතිපාදනයන් ලැබිලා නැහැ.
දුෂ්කර ප්‍රදේශවල පිරිවෙන් පවත්වනුයේ දැඩි අසීරුවෙන්.
නායක හිමිවරු ඇතැම් විට ණය වී එම මුදල්වලින් පිරිවෙන් පවත්වා ගෙන යනවා.
මම දන්න අයුරින් මේ දක්වා කිසිදු පිරිවෙනකට මුදල් ලැබිලා නැහැ.
අපේ පිරිවෙනට මුදල් ප්‍රමාද වුවත් ගැටලුවක් නැහැ.
නමුත්  පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට නම් අය වැය මගින් නිසි අවධානය යොමු කළ යුතුයි...."  

නායක හිමියන් හමුවේ කරුණු පැහැදිලි කළ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා, බුද්ධ ධර්මයට හිමි ස්ථානය කිසිසේත්ම අහිමි නොකරන  බවට  ජනාධිපතිවරයා හා අග්‍රමාත්‍යවරයා  සපථ කොට ඇතැයි පැවසුවා.

කොළඹදී පැවැත්වෙන සර්ව ආගමික සමුලුවේදී ඒ පිළිබද වැඩිදුර පැහැදිලි කිරීමක් කරන බවත් පැවැති අනවබෝධය නිසා ඇතමුන් දැඩි සැකයකින් පසුවන බවත් මනෝ ගනේෂන් මහතා නායක හිමියන් හමුවේ සඳහන් කළා.

" ...දේශපාලනික වශයෙන් විවිධ අර්ථකථන සිදුවෙනවා.
බුදුදහමට හිමි ස්ථානයට කිසිදු බාධාවක් එන්නේ නැහැ.
ඒ බව ඉතාමත්ම පැහැදිලියි.
සිංහල හා දෙමළ ජනතාව අතර ගැටුමක් නොතිබුණත් ඉකුත් පාලන යුග වලදී දේශපාලඥයන් ගනු ලැබූ නිවරැදි නොවන තීන්දු නිසා ජාතිවාදී අර්බුද නිර්මාණය වුණා.
නමුත් දැන් එවැනි තත්ත්වයක් නැහැ. සියලු ජනතාවට සාධාරණව බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට අවස්ථාව තිබෙනවා..."

(නදීක දයා බණ්ඩාර - මහනුවර)

news24.lk
News24
sri lanka news 24
24 news
Ramanna Nikaya
Most Ven. Napana Pemasiri Thera
Constitution
Mano Ganeshan