දරුවන්ට සුරක්ෂිත රටක් ගොඩනැගීමට සාමූහිකව වගකීම් ඉටු කළ යුතුයි

 11/11/2017 - 07:22
43 reads

දරුවන් හට සුරක්ෂිත රටක් ගොඩනැගීමට සියලු දෙනා සාමුහිකව වගකීම් ඉටු කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ පොළොන්නරු දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්.

සමුළුව ඊයේ  (10) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී පැවැත්වුණා.

ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂා කර ගැනීම හා ඔවුන්ගේ කායික සහ මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව "දරුවන් සුරකිමු" ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

"දරුවනේ ඔබව සුරකින්න" තේමාව යටතේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සකස් කරන ලද ග්‍රන්ථය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වූවා.

ළමා නිවාසවල රැකවරණය ලබන දරුවන්ට වඩා යහපත් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා, තෝරාගත් ළමා නිවාස 05 ක් නවීකරණය හා ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ප්‍රතිලාභ ලබාදීම, වකුගඩු රෝගී අවදානමෙන් දරුවන් මුදා ගැනීම සදහා පිරිසිදු පානීය ජල පහසුකම් නොමැති පාසල් 20කට ප්‍රතිආශ්‍රැතකරණ ජල පිරිපහදු කට්ටල ලබාදීම, තිරසර පාසල් වැඩසටහන යටතේ තෝරාගත් පාසල් 381ක් සදහා එක් පාසලකට රුපියල් 50,000 බැගින් ප්‍රතිපාදන ලබාදීම හා ආබාධ සහිත පාසල් දරුවන් සදහා රෝද පුටු ලබාදීම සහ පූර්ව ළමා විය සංවර්ධනය සදහා තෝරාගත් පෙර පාසල් 45කට අවශ්‍ය පහසුකම් ලබාදීම ද මෙහිදී සිදු කෙරුණා.

ජයිකා ආයතනය මගින් ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති පරිත්‍යාග කිරීමක් ද සිදු කෙරුණු අතර සංකේතාත්මකව  එය ජනාධිපතිවරයා අතින් සනිටුහන් කෙරුණා.

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු පළාත් සභා නියෝජිතයින් ද, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා ඇතුළු  නිලධාරින් ද පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති රවීලාල් විජයවංශ මහතා ඇතුළු ගුරුවරුන්, දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
Daruwan Surakimu
Let’s Protect Our Children
President
Maithripala Sirisena
Polonnaruwa
Royal College