සයිටම් දෙසැම්බර් 31 වනදා සිට අහෝසියි

 11/08/2017 - 17:59
261 reads

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එළැඹෙන දෙසැම්බර් 31 වනදා සිට අහෝසි කරන බව නියෝජ්‍ය අමාත්‍ය අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්.

සයිටම් ආයතනය සඳහා කිසිදු ආකාරයකින් නැවත සිසුන් බඳවා ගනු නොලැබේ. ඒ සමග සයිටම් ආයතනය අහෝසි කිරීමට ක්‍රියාකරනු ඇත. අහෝසි කිරීමට නියමිත සයිටම් ආයතනයේ වර්තමාන වෛද්‍ය ශිෂ්‍යයන් හට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් නිම කළ යුතු ආකාරය ජනාධිපතිතුමා විසින් අලුතින් පත් කරන ලද ක්‍රියාත්මක කිරීමේ කමිටුව විසින් සාකච්ඡා කර නිර්දේශ කරනු ඇත. අපි බලාපොරොත්තු වනවා ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ඒ නිවේදනයට අනුව ඉස්සරහට යන්න දෙසැම්බර් 31 වනදා වන විට මේ වැඩකටයුතු ඉවර කරන්න සියලු දෙනාගේ සහයෝගය ලැබේවී කියලා.

මේ අතර වෙද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සයිටම් ගැටලුව පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ සභාපති ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා හමුවුණා.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම කමිටුවේ සාමාජිකයින් පැවසුවේ සාකච්ඡාවේදී එකඟතා කිහිපයකට පැමිණිය ද එම ආයතනය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා තෙක් උපවාසය අත් නොහරින බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news