තොණ්ඩමන්ගේ නම වෙනස් කිරීමට ගිය දිගම්බරන් නිසා හැටන් උණුසුම්

 10/26/2017 - 12:34
53 reads

හැටන් ෆුල්බෑන්ක් ප්‍රදේශයේ පිහිටි තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනවා.

ඒ, ලංකා කම්කරුකොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් සහ කම්කරු ජාතික පෙරමුණේ සාමාජිකයින් පිරිසක් අතර ඊයේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයෙන් අනතුරුවයි.

තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නම ෆුල්බෑන්ක් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය යනුවෙන් වෙනස් කිරීමට අමාත්‍ය පී. දිගම්බරන් මහතා විසින් උත්සහ ගන්නා බව

පවසමින් ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් පිරිසක් ඊයේ පස්වරුවේ විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් සඳහන් කරන්නේ දිවංගත සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතා විසින් වතුකරයේ තරුණ ප්‍රජාව නගා සිටුවීමට ගත් උත්සහය හමුවේ එම නාමය වෙනස් කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා විරෝධතාකරුවන් හැටන් පොලීසියට ගොස් සිටින අවස්ථාවේදී අමාත්‍ය පී. දිගම්බරන් මහතාගේ ආධාරකයින් ද ඔවුන්ට එරෙහිව පැමිණිලි කිරීමට ගොස් තිබුණා.

ඒ අනුව ඊයේ රාත්‍රීයේ එම අවස්ථාවේදී දෙපිරිස අතර ගැටුමක් ද හටගෙන ඇති බවයි News24 වාර්තාකරු සඳහන් කළේ.

ඒ හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදීමට කටයුතු කර තිබෙනවා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news