ඔක්ස්ෆර්ඩ් ගිය මලාලා

 10/18/2017 - 11:12
96 reads

තමන්ගේ රටේ දැරියන්ගේ අධ්‍යාපනය රැකගැනිමට කතා කළ නිසා ප්‍රසිද්ධියේ වෙඩිකන්නට සිදුවූ දියණියක් වන නොබෙල් සාම ත්‍යාගලාභී 'මලාලා යුසුෆ්සායි' ලොවපුරා ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.

ඇයට පසුගියදා ඔක්ස්ෆර්ඩ් සරසවි වරම් හිමිව තිබෙනවා.

ඒ අනුව තමාට ඔක්ස්ෆර්ඩ් යාමට ලැබුණු සතුට පිළිබඳ මලාලා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ මෙලෙසිනි.

“මීට අවුරුදු 5කට කලින් මම වෙඩි කෑවා. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් මා නැගූ හඬ නිහඬ කරන්න හැදුවා. අද මම ඔක්ස්ෆර්ඩ් සරසවියේ පළමු දේශනයට සහභාගි වෙනවා.”

ලෝකයේ දේශපාලන ලොක්කන් බිහිකරන සරසවියක් ලෙස හඳුන්වන ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනය ඔස්සේ මලාලාද තවත් ලෝක නායිකාවක් බවට පත්වන ලකුණු පහළ වී තිබෙනවා.

ඇගේ ප්‍රියතම දේශපාලන චරිත වන පාකිස්තානයේ බෙනාසීර් බූතෝ, බුරුමයේ අවුන්ග් සාන් සූකි, හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මෙන්ම එරට හිටපු විපක්ෂනායක එඩ් මිලිබැන්ඩ් ද ඔක්ස්ෆර්ඩ් නිෂ්පාදනයන්.

මලාලා බ්‍රිතාන්‍යයට කැඳවා ඇයට එහි පුරවැසිභාවය පිරිනැමුවේ ඩේවිඩ් කැමරන් වන අතර ඇයට කැනඩා පුරවැසිභාවයද හිමියි.

නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින මලාලා යුස්ෆ්සායි මේ වන විට 20 හැවිරිදි වියෙහි පසුවෙයි.

ඇයට ඔක්ස්ෆර්ඩ් සිරසවි වරම් හිමිවූයේ පසුගිය අගෝස්තුවේ වන අතර ඒ, ඇය දක්ෂ ලෙස උසස් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුවයි.

ඇය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට පිවිසුණේ දර්ශනවේදය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව හැදෑරීමටයි.

මලාලා අද එක්සත් ජාතීන්ගේ බාලිකා අයිතීන් සුරැකීම වෙනුවෙන් විශේෂ නියෝජිතවරියක ලෙසින් ද කටයුතු කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී (මලාලා පදනම) යන නමින් පදනමක් ද පිහිටුවා ඇත්තේ අසරණ දැරියන්ට පිහිටවීම සඳහායි.

 

news24.lk
News24
sri lanka news 24
24 news